අභිනව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වන යුද්ධ හමුදාධිපති ලෙස අභිනවයෙන් පත්වූ ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ අද (2022 ජූනි 06) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

ඒ අනුව, නාවික හමුදා මූලස්ථානය වෙත පිවිසි අභිනව යුද්ධ හමුදාධිපති, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් (පරිපාලන), රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙරුම විසින් නාවික හමුදා මූලස්ථානය වෙත උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසු සම්ප්‍රධායානුකූලව නාවික හමුදා සම්මාන ආචාර මුරයක් මඟින් උත්තමාචාර පිරිනැමීමට කටයුතු කෙරිණි. අනතුරුව, නාවික හමුදාධිපති විසින් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි ඇතුළු කළමනාකරණ මණ්ඩලය යුද්ධ හමුදාධිපති වෙත හඳුන්වාදෙන ලදී.

ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වන යුද්ධ හමුදාධිපති ලෙස 2022 ජුනි මස 01 දින පත්වීමෙන් පසුව ඔහු නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරතවූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර, මෙම නිල හමුවේදී නාවික හමුදාධිපති සහ යුද්ධ හමුදාධිපති අතර පැවති සුහද පිළිසඳරකින් අනතුරුව නව ධූරයේ ඉදිරි කටයුතු සඳහා නාවික හමුදාධිපති විසින් සුභපැතුම් පිරිනමන ලදි.

තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති සහ යුද්ධ හමුදාධිපති අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.