පොසොන් පොහොය දිනය නිමිත්තෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් සිල් සමාදන්වීමේ වැඩසටහනක් සංවිධානය කරයි

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ බුදු දහම ලක්දිවට වැඩම කරවීම සිහිපත් කරමින් සමරනු ලබන පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය නිමිත්තෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සංකල්පයකට අනුව සිල් සමාදන්වීමේ වැඩසටහනක් 2022 ජුනි මස 14 වන දින නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්වුනු අතර, මේ අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ ආරාධනයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.

ඒ අනුව, බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ගේ ඒකාකාරී කාර්ය බහුල ජීවන රටාවෙන් මීදී ආධ්‍යාත්මික සුවයක් ගෙනදීමේ අරමුණෙන් 2022 ජුනි මස 14 වන දිනට යෙදුන පොසොන් පුන් පොහොය දිනයට සමගාමීව සංවිධානය කෙරුනු මෙම සිල් සමාදන්වීමේ පුණ්‍ය කටයුත්ත, හේවිසි හඬ මධ්‍යයේ සර්වඥ ධාතූන් වහන්සේ වැඩමවා බුද්ධ පූජාව තැන්පත් කිරිමෙන් අනතුරුව ආරම්භ කෙරිණි.

මෙම සීල් සමාදන් වීමේ වැඩසටහන තුල සිදුකෙරුනු ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා සහ මෛත්‍රී භාවනා වැඩසටහන් ජූප්‍ය හිඟුරේ පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේ, පූජ්‍ය නෙළුවා කන්දේ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ, පූජ්‍ය කැළණියේ විපුල ඥාණ ස්වාමීන් වහන්සේ, ජූජ්‍ය කුඹුක්කඩවර සුධීර ස්වාමීන් වහන්සේ, ජූජ්‍ය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ, පූජ්‍ය මිරහවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ සහ පූජ්‍ය කහගොල්ලේ සෝමවංශ ස්වාමීන් වහන්සේ යන ගරුතර මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදි. මෙම පුණ්‍ය කටයුත්ත සන්ධ්‍යා ඖෂධ ගිලන්පස බුද්ධ පූජාව සහ පිරිත් දේශනයෙන් අනතුරුව නිමාවට පත්විය.

තවද, මෙම සීල සමාදාන වැඩසටහනට සමගාමීව සිදුකෙරුනු කඩල, ඉඟුරු තේ සහ අයිස් ක්‍රීම් දන්සල සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සුරතින් ආරම්භ කරන ලද අතර, සිල් සමාදන්වීමේ වැඩසටහන සහ දන්සල ආරම්භ කිරීමේ අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ ආරාධනයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න‚ සියළුම ධජ නිලධාරීන්‚ සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන්, අනෙකුත් කමිටු සාමාජිකාවන්, ශ්‍රීලංනානෞ පරාක්‍රම ආයතනයේ අණදෙන නිලධාරී ඇතුළු ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්‚ නිලධාරිණියන්, බටහිර නාවික විධානයේ ආයතන සහ නෞකාවන්ට අයත් ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් හා සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය ඇතුළු විශාල පිරිසක් සහභාගී වන ලදි.