නාවික ආයතනයේ ශ්‍රීලංකා ශාඛාව 30 වන සංවත්සරය සමරයි

එක්සත් රාජධානියේ ස්ථාපිත නාවික ආයතනයේ 50 වන සංවත්සරයට සමගාමීව එහි ශ්‍රී ලංකා ශාඛාව 2022 වර්ෂයේදී සිය 30 වන සංවත්සරය සමරනු ලබයි. එක්සත් රාජධානියේ නාවික ආයතනයේ ශ්‍රීලංකා ශාඛාව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ වෙළඳ නාවික ආයතනයන්හි සාමාජිකයින්ගේ හැකියාවන්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකාවේ ඇති එකම සාගරික ආයතනය වේ.

නාවික ක්‍ෂේත්‍රයේ නියුතු පුද්ගලයින්ගේ නිපුණතාවය සහ දැනුම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එක්සත් රාජධානියේ නාවික ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාව 1992 ඔක්තෝබර් මස 20 වන දින ආරම්භ කර ඇත. සමුද්‍රීය කර්මාන්තය පිළිබඳව දැනුවත් කිරීම සඳහා සාමාජිකයින් විසින් ඉදිරිපත් කරනු ලබන විවිධ තේමාවන් ඔස්සේ නිරන්තර සාකච්ඡා හා සම්මන්ත්‍රණ පැවැත්වීමෙන් මෙම ශාඛාව අඛණ්ඩව එහි අරමුණ ළඟා කරගැනීමට කටයුතු කරයි.

ඒ අනුව, ඉදිරි වසර 20 සඳහා වන දැක්ම සමඟින් විවිධ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකා ශාඛාව එහි 30 වන සංවත්සරය සැමරීම සිදුකරනු ලබයි. 2022 ජුනි මස 18 වන දින කොළඹ 07 OPA පරිශ්‍රයේදී පැවැත්විමට කටයුතු සූදානම් කර ඇති 30 වන වාර්ෂික මහා සභා රැස්වීම, ශාඛා වාර්ෂික සම්මාන උළෙල සහ යෞවන සංසද ක්‍රියාකාරකම් ඇතුළු වැඩසටහන් සඳහා සහභාගීවන ලෙස නාවික ආයතනයේ ශ්‍රීලංකා ශාඛාව එහි ලියාපදිංචි සාමාජිකයින්ට ආරාධනා කරනු ලබයි.

එක්සත් රාජධානියේ ස්ථාපිත නාවික ආයතනය ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ උපදේශන තත්ත්වය හිමි රාජ්‍ය නොවන සංවිධානයක් වන අතර, එහි අරමුණ වන්නේ සමුද්‍රීය කර්මාන්ත ක්‍ෂේත්‍රයෙහි වෘත්තීයභාවය, යහපැවැත්ම සහ ආරක්‍ෂාකාරීභාවය ප්‍රවර්ධනය කිරීම සහ එහි සාමාජිකයින්ගේ අවශ්‍යතා නියෝජනය කිරීමයි. සිය සාමාජික සංඛ්‍යාව නිරන්තරයෙන් වර්ධනය කරගන්නා මෙම සංවිධානය, නෞකා සහ වෙනත් සමුද්‍රීය කාරණා සම්බන්ධයෙන් වෘත්තීය වශයෙන් උනන්දුවක් දක්වන සියල්ලන්හට විවෘතව පවතී.

තවද, සමුද්‍රීය කර්මාන්ත ක්‍ෂේත්‍රයෙහි ඉදිරි වසර 20 ක කාලය හැඩගස්වා ගැනීම සඳහා සාමූහිකව ක්‍රියාත්මක වෙමින් අදහස් සහ හැකියාවන් හුවමාරු කරගැනීම සඳහා එක්සත් රාජධානියේ නාවික ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාව නාවික ක්‍ෂේත්‍රයේ නියුතු සියලුම පුද්ගලයන්හට ආරාධනා කරනු ලබන අතර, එමගින් සමුද්‍රීය කර්මාන්ත ක්‍ෂේත්‍රයේ වෘත්තීය භාවය සහ උසස් නායකත්ව හැකියාවන් වර්ධනය කරගැනීම අපේක්‍ෂා කරයි. එමෙන්ම, සමාජිකත්වයේ ස්ථාවර වර්ධනයක් සහතික කිරීම සඳහා සහ ප්‍රායෝගික මුහුදු ගමන් සහ නීතිමය දැනුම ලබාදීමේ අරමුණෙන් නාවික ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාව මෑතකදී ආරම්භ කරන ලද තරුණ සංසදය සඳහා නොමිලේ සම්බන්ධවීමට සාගරික සංචරණය පිළිබඳ උනන්දුවක් දක්වන වයස අවුරුදු 35 ට අඩු පුද්ගලයින් සුදුසුකම් ලබයි.