2566 වන ශ්‍රී සම්බුද්ධ ඡයන්තිය නිමිත්තෙන් නාවික හමුදාව සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහන් මාලාව සාර්ථකව නිමාවට පත්වේ.

2566 වන ශ්‍රී සම්බුද්ධ ඡයන්තිය නිමිත්තෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් සහ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සෑම නාවික විධානයක්ම ආවරණය වන පරිදි සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහන් මාලාව 2022 ජුනි මස 16 වන දින සාර්ථකව නිමාවට පත්විය.

නාවික විධානයන් 07 ආවරණය වන පරිදි ලේ දන්දීමේ වැඩසටහන් 09 ක් සිදුකිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන ලද අතර, මෙම උතුම් සමාජ සත්කාර්ය ආරම්භ කරමින් නැගෙනහිර නාවික විධානය විසින් 2022 මැයි මස 16 සහ 30 දෙ‍දින ලේ දන්දීමේ වැඩසටහන පවත්වන ලදි. එමෙන්ම 2022 මැයි මස 17, 20, 22, 23, යන දිනයන්හීදී පිළිවෙලින් දකුණු, උතුරු, ගිණිකොන හා වයඹ යන නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් ‍ලේ දන්දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණු අතර, 2022 ජුනි මස 10 වන දින උතුරු මැද නාවික විධානය විසින් එම විධානය තුල ලේ දන්දීමේ වැඩසටහන සංවිධානය කරන ලදි. මෙම ලේ දන්දීමේ වැඩසටහන යටතේ බටහිර නාවික විධානය විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහන් 2022 ජුනි මස 08 සහ 16 යන දෙදින තුල පැවැත්වීමෙන් අනතුරුව මෙම උතුම් සමාජ සත්කාර්යය සාර්ථකව නිමාවට පත්විය.

රෝහල් තුල පවත්නා රුධිර සංචිත නිසි ලෙස පවත්වා ගෙන යාමේ අරමුණින් සංවිධානය කෙරුණු මෙම ලේ දන්දීමේ වැඩසටහන් මාලාව විධාන ආඥාපතිවරුන් විසින් ලේ බැංකු හා සම්බන්ධීකරණයවී නාවික හමුදා විධාන වෛද්‍ය නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ සිදුකෙරුණු අතර, මෙම උතුම් සමාජ සත්කාර්යය සාර්ථක කර ගැනීම සඳහා සෑම නාවික විධානයකම නාවික පුද්ගලයින් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වී සිය දායකත්වය ලබාදෙන ලදි.