ශාස්ත්‍රීය දක්‍ෂතා දැක්වූ නාවික හමුදා නිලධාරීන් හට බ්‍රිතාන්‍ය නාවික ආයතනයෙන් සම්මාන

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශාස්ත්‍රීය පාඨමාළාවන්ගෙන් විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ නිලධාරීන් දෙදෙ‍නෙකු වෙත බ්‍රිතාන්‍ය නාවික ආයතනයේ (The Nautical Institute) ශ්‍රී ලංකා ශාඛාව මඟින් සහතික සහ සමරුඵලක ප්‍රධානය 2022 ජුනි මස 18 වන දින කොළඹ පිහිටි වෘත්තිකයන්ගේ සංගම් ශ්‍රවණාගාරයේදී පැවති එම ශාඛාවේ 29 වන මහසභා රැස්වීමේදී සිදු කෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශාස්ත්‍රීය පාඨමාළාවන්ගෙන් විශිෂ්ඨ දක්‍ෂතා දක්වන නිලධාරීන්ගේ වෘත්තීය අභිවෘද්දිය උදෙසා ඔවුන් වෙත බ්‍රිතාන්‍ය නාවික ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාව මඟින් සම්මාන සහ සමරුඵලක පිරිනැමීම 2017 වර්ෂයේදී ආරම්භ කර ඇත.

ඒ අනුව, හයවෙනි වරට පැවති මෙම සහතික පත්‍ර සහ කුසලාන පිරිනැමීමේ අවස්ථාවේදී 2021 - 2022 අධ්‍යන වර්ෂය තුල නාවික හා සාගරික විද්‍යාපීඨයේ පැවති දියයට සංග්‍රාමික යුද උපක්‍රම දීර්ඝ පාඨමාළාවේදී විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ ලුතිනන් කොමාණ්ඩර් එන්සී කරුණාරත්න සහ ලුතිනන් කොමාණ්ඩර් කේඩීපී කුලසිංහ යන නිලධාරීන් වෙත බ්‍රිතාන්‍ය නාවික ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාව මඟින් සහතික හා සමරුඵලක, ප්‍රධානය කිරීම, එම ශාඛාවේ වත්මන් සභාපති කපිතාන් (වෙළඳ නැව් සේවා) නිමල් පෙරේරා‍ විසින් මෙලෙස සිදු කෙරිණි. තවද, මෙම නිලධාරීන් හට නාවික ආයතනයේ සාමාජිකත්වය පිරිනැමීමද මෙහිදී සිදුවිය.

තවද, මෙම අවස්ථාව සඳහා හිටපු නාවික හමුදාධිපතිවරයෙකු වන මහාචාර්ය අද්මිරාල්(විශ්‍රාමික) ජයනාත් කොළඹගේ, නාවික හමුදාධිපති නියෝජනය කරමින් බටහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු මහේන්ද්‍ර වීරරත්න, කොමදෝරු කාංචන භානගොඩ, නාවික හමුදා අධ්‍යක්‍ෂ නාවික පුද්ගල හා බ්‍රිතාන්‍ය නාවික ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ නියෝජ්‍ය සභාපති කොමදෝරු රවීන්ද්‍ර ති‍සේරා, බ්‍රිතාන්‍ය නාවික ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාව නියෝජනය කරමින් නියෝජ්‍ය සභාපති කපිතාන් (වෙළඳ නැව් සේවා)රොහාන් කොඩිප්පිලි, ලේකම් කපිතාන් (වෙළඳ නැව් සේවා) කීත් ජයසූරිය, ඇතුළු එම ආයතනයේ සාමාජිකයන් රැසක් සහභාගී වි සිටියහ.