ශ්‍රී ලංකා නාවික හමුදාව ලෝක ජල ශාස්ත්‍රීය දිනය සමරයි

2022 වර්ෂයේ ජුනි මස 21 වන දිනට යෙදෙන 101 වන ලෝක ජල ශාස්ත්‍රීය දිනයට සමගාමිව ශ්‍රී ලංකා නාවික හමුදාව ලෝක ජල ශාස්ත්‍රීය දිනය සැමරීම ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ නාවික හමුදාවේ හා රජයේ ඒකාබද්ධ ජලශාස්ත්‍රීය ප්‍රධානී, රියර් අද්මිරාල් වයිඑන් ජයරත්නගේ ප්‍රදානත්වයෙන් සහ ජලශාස්ත්‍රීය සේවයේ අනෙකුත් පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් අද (ජුනි 21) සිදුකෙරිණි.

2005 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියක් මගින් සම්මත කරගනු ලැබු ජාත්‍යන්තර ජලශාස්ත්‍රීය දිනය සෑම වසරකම ජුනි මස 21 වන දින සමරනු ලබයි. මෙහි මුලික අරමුණ වනුයේ ජලශාස්ත්‍රීය කටයුතු පිළිබඳව තොරතුරු ගෝලීය වශයෙන් ව්‍යාප්ත කිරීම සහ ඊට අවශ්‍ය ප්‍රසිද්ධිය ලබාදීම වන අතර, මෙම වර්ෂයේ ලෝක ජලශාස්ත්‍රීය දින තේමාව ලෙස “ජලශාස්ත්‍රීය විද්‍යාව එක්සත් ජාතීන්ගේ සාගර දශකයට දායක වීම” වශයෙන් නම්කර ඇත.

නාවික ගමනාගමනය, වරායන් ඉදිකිරීම, ගැඹුරු මුහුදේ ග‍වේෂණ කටයුතු සිදුකිරීම, පාරිසරික සැලැසුම් ක්‍රියාත්මක කිරීම, ගලවා ගැනීමේ මෙහෙයුම්හි නිරතවීම සහ අන්තර්ජාතික සාගරික දේශසීමා සලකුණු කිරීම වැනි කාර්යයන් උසස් ලෙස ඉටු කිරීම සදහා යාවත්කාලීන හා නිවැරදි ජලශාස්ත්‍රීය දත්තයන් ලබාදීම තුළින් තිරසාර සමුද්‍රීය සංවර්ධනය සහ භාවිතය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා දීම මෙම වසරේ ලෝක ජලශාස්ත්‍රීය දින තේමාවේ පරමාර්ථ වේ.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මූලස්ථානයේ හා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ නිලධාරීන් සහ ආරාධිතයින් ඇතුළු නාවික හමුදා ජල ශාස්ත්‍රීය අංශයට අනුයුක්ත නිලධාරින් පිරිසක් සහභාගිවි සිටියහ.