නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න සිය වසර 36 කට ආසන්න නාවික සේවය නිමා කරමින් අද (2022 ජූනි 21) දින විශ්‍රාම යන ලදී.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න ප්‍රමුඛ නාවික හමුදා කළමණාකරන මණ්ඩලය විසින් අද දිනට 55 වන උපන්දිනය යෙදී ඇති රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න වෙත උපන් දින සුභපැතුම් එක් කිරීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මගින් ඔහු වෙත උත්තමාචාරය පුද කෙරිණි. සහෘද නිලධාරීන් විසින් ඔහු වෙත සමුදීමෙන් පසු නාවික හමුදා මූලස්ථානයේ සිට, නාවික රථ පෙළපාලියකින් පිටව යන මොහොතේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් එම ජ්‍යේෂ්ඨ නිලධාරියා හට සුභාශිංසන පිරිනමන ලදි.

1986 වර්ෂයේදී 15 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න නාවික හමුදා සේවයට එක්ව ඇත. ඔහුගේ පළමු පත්වීම නාවික හමුදාවේ ප්‍රමුඛතම ප්‍රහාරක බලගණය වන හතරවන වේග ප්‍රහාරක බලගණය වෙත ලැබීමෙන් පසු, වේග ප්‍රහාරක යාත්‍රාවන්ගේ අණභාර නිලධාරි ලෙසත්, 1999-2000 කාලසීමාවේදී එම බලගණයේ පුහුණු නිලධාරී ලෙසත් 2006-2007 කාලසීමාවේදී එම බලගණයේ පුහුණු විධායක ලෙසත්, හතරවන වේග ප්‍රහාරක බලගණය පුහුණු කරවීම සඳහා ඔහු තම දායකත්වය ලබාදී ඇත. අනතුරුව, ඔහු 2007-2008 කාලසීමාවේදී හතරවන වේග ප්‍රහාරක බලගණයේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කරමින් එම බලඝනය ප්‍රබල ප්‍රහාරක බලගණයක් කිරීම සඳහා සුවිශේෂී දායකත්වයක් දක්වන ලදී.

රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න තම සේවා කාලය තුළ නාවික හමුදා නෞකාවන්ගේ අණදෙන නිලධාරී ලෙසද කටයුතු කර ඇති අතර, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික ව්‍යාපෘති හා සැලසුම්, වැඩබලන අධ්‍යක්ෂක සමුද්‍රීය ආවේක්ෂණ, නියෝජ්‍ය අධ්‍යක්ෂක නාවික මෙහෙයුම්, නාවික පරීක්‍ෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ හා ජ්‍යෙෂ්ඨ ගුවන් ආරක්‍ෂක සම්බන්ධීකාරක, ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක, නාවික හමුදාධිපතිගේ නාවික සහායක, නාවික පර්යේෂණ ඒකකයේ ප්‍රධානී, නාවික හා සාගරික විද්‍යාපිඨයේ ආඥාපති, උතුරු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්, නැගෙනහිර නාවික විධානයෙහි නියෝජ්‍ය ආඥාපති හා ත්‍රිකුණාමලය වරාය පහසුකම් ආරක්‍ෂක නිලධාරී, අධ්‍යක්ෂක නාවික පුහුණු, නියෝජ්‍ය ජල ශාස්ත්‍රීය ප්‍රධානී, අධ්‍යක්ෂ ජෙනරාල් නාවික පුහුණු, අධ්‍යක්ෂ ජෙනරාල් නාවික මෙහෙයුම්, නාවික හමුදාවේ සහ රජයේ ඒකාබද්ධ ජල ශාස්ත්‍රීය ප්‍රධානී, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ආදී ප්‍රමුඛ නිල තල දරමින් කටයුතු කල කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.