රියර් අද්මිරාල් උපුල් ද සිල්වා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ

සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් රියර් අද්මිරාල් උපුල් ද සිල්වා 2022 ජූනි මස 21 වන දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් නාවික හමුදා මූලස්ථානයේදී එම පත්වීමේ ලිපිය රියර් අද්මිරාල් උපුල් ද සිල්වා වෙත නිල වශයෙන් ප්‍රදානය කර ඔහු වෙත සිය සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි.

රියර් අද්මිරාල් උපුල් ද සිල්වා බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකි. ඔහු 1986 වර්ෂයේ 15 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක් විය. නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් මූලික පුහුණුව සාර්ථක ලෙස අවසන් කර 1988 වර්ෂයේ උප ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත් වන ඔහු, සිය උප ලුතිනන් තාක්‍ෂණික පාඨමාළාව 1989 වර්ෂයේ ඉන්දියාවේදී සාර්ථකව හදාරා ඇති අතර, ඉන්දියාවේ අයිඑන්එස් වෙන්දුර්ති (INS Venduruthy) වෙතින් නාවික සන්නිවේදනය පිළිබඳ විශේෂඥතාව ලබා ඇත. එතැන් සිට ක්‍රමාණුකූලව උසස් වීම් ලබමින් 2019 වර්ෂයේ මැයි මස 03 වන දින ඔහු රියර් අද්මිරාල් නිලයට උසස් වී ඇත.

සිය සේවා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විවිධ නිළතල රාශියක් දරා ඇති ඔහු, වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හි අණභාර නිලධාරී ලෙස සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා හා ආයතනයන්හී අණදෙන නිලධාරී වශයෙන් රාජකාරී සිදු කොට ඇත. තවද, ඔහු ශ්‍රීලංනානෞ ශික්ෂා ආයතනයේ ආඥාපති, නියෝජ්‍ය අධ්‍යක්ෂ නාවික පුහුණු, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්, නාවික පරීක්‍ෂණ ඒකකයේ අධ්‍යක්ෂ, උතුරු මැද නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ වැඩබලන අධ්‍යක්‍ෂක ජෙනරාල් නාවික හා ගුවන් මෙහෙයුම්, අධ්‍යක්ෂ නාවික සංඥා, නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති හා ත්‍රිකුණාමලය වරාය පහසුකම් ආරක්‍ෂක නිලධාරී, නාවික දියත් විධානයේ ධජ නිලධාරී, ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, අධ්‍යක්ෂ ජෙනරාල් පුද්ගල සහ බටහිර නාවික විධානයේ ආඥාපති වශයෙන් රාජකාරී සිදු කර ඇත. එමෙන්ම, රියර් අද්මිරාල් උපුල් ද සිල්වා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී විමට පෙර නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වශයෙන්ද කටයුතු කරන ලදී.

එමෙන්ම රියර් අද්මිරාල් උපුල් ද සිල්වා 2003 වර්ෂයේදී ඇමරිකා එක්සත් ජනපදයේ රෝඩ් අයිලන්ඩ් හි පිහිටි නාවික සංග්‍රාමික විද්‍යාලයේ නාවික මාණ්ඩලික පාසලෙන් අණ හා මාණ්ඩලික පාඨමාලාව හදාරන ලදි. තවද, 2011 වර්ෂයේදී ආරක්ෂක කළමනාකරණ පාඨමාලාව ඉන්දියාවේදී ද, 2013 වර්ෂයේදී කණ්ඩායම් අණදෙන නිලධාරී පාඨමාලාව චීනයේදී ද සාර්ථකව හදාරා ඇති ඔහු, 2017 වර්ෂයේදී චීනයේ ජාතික ආරක්ෂක විද්‍යාලයෙන් ආරක්‍ෂක සහ උපාය මාර්ගික අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ඇත.

තිස් වසරකට ආසන්න කාලයක් මෙරට වෙලා පැවති ත්‍රස්තවාදය පිටුදැකීමේ මෙහෙයුම් සඳහා සක්‍රීයව දායකවී සතුරාට එරෙහිව සිදුකල නිර්භීත ක්‍රියා වෙනුවෙන් රණ වික්‍රම පදක්කම සහ රණ සූර පදක්කම ද, අගනා සේවය නොකැළැල් චරිතය සහ රාජකාරියට කැපවීම වෙනුවෙන් උත්තම සේවා පදක්කමෙන්ද පිදුම් ලද රියර් අද්මිරාල් උපුල් ද සිල්වා වෙත ඔහුගේ මනා කැපවීම සහ ආදර්ශමත් කාර්ය සාධනය ඇඟයීම වෙනුවෙන් නාවික හමුදාධිපති විසින් අවස්ථාවන් තුනකදී (03) ප්‍රශංසාත්මක ලිපි ප්‍රදානය කර ඇත.

රියර් අද්මිරාල් උපුල් ද සිල්වා , ශ්‍යාමා තිලකරත්න මහත්මිය සමඟ විවාහ වී සිටින අතර, ඔවුන් ‍දෙපළට තරුෂි (29) සහ පසිඳු (27) යන දියණියක් සහ පුතෙකු සිටී.