නැගෙනහිර පළාතේ කොවීඩ් එන්නත්කරණ වැඩසටහන් සඳහා නාවික හමුදා සහය

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය ප්‍රදේශයෙහි පාසල් ළමුන් කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක කරනු ලබන කොවීඩ් එන්නත්කරණ වැඩසටහන් මාලාව සඳහා නාවික හමුදාව විසින් සෞඛ්‍ය අංශ වෙත අවශ්‍ය සහයෝගය ලබා දෙන ලදී.

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ මඟ පෙන්වීම යටතේ නැගෙනහිර නාවික විධාන ආඥාපතිගේ අධීක්‍ෂණයෙන්, එම විධානයේ වෛද්‍ය අංශයේ කාර්යය මණ්ඩලය, ත්‍රිකුණාමලය මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කාර්යාලය හා එක්ව 2022 ජුනි මස 27 සහ 28 යන දිනයන්හිදී පාසල් ළමුන් සඳහා කොවිඩ් 19 එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලදි. ඒ අනුව, ත්‍රිකුණාමලය හින්දු විද්‍යාලයේදී ළමුන් 186 දෙනෙක් සහ ත්‍රිකුණාමලය රාජකීය විද්‍යාලෝක ජතික පාසලේ ළමුන් 66 දෙනෙක් ඇතුළුව පාසල් සිසුන් 252 දෙනෙක් සඳහා කොවිඩ් එන්නත්කරණය කිරීම සිදු කරන ලදී.

මීට අමතරව මෙම එන්නත්කරණ වැඩසටහන යටතේ 2022 ජුනි මස 08, 09, 10 සහ 15 යන දිනයන්හීදී ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පාසල් සිසුන් 774 දෙනෙකු වෙත කොවීඩ් එන්නත්කරණ සිදුකිරීම සඳහා නැගෙනහිර නාවික විධානයේ වෛද්‍ය කාර්යය මණ්ඩලයේ සහයෝගය ලබාදෙන ලදි.

තවද, මහජනතාව උදෙසා සිදුකරනු ලබන සමාජ සුභසාධන සහ ප්‍රජා සත්කාරක වැඩසටහන් සඳහා ඉදිරියේදීද අවශ්‍ය සහයෝගය ලබා දීමට නාවික හමුදාව සූදානමින් සිටී.