නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් උපුල් ද සිල්වා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් උපුල් ද සිල්වා සිය වසර 36 කට ආසන්න නාවික සේවය නිමා කරමින් අද (2022 ජූලි 09) දින විශ්‍රාම යන ලදී.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න ප්‍රමුඛ නාවික හමුදා කළමණාකරන මණ්ඩලය විසින් අද දිනට 55 වන උපන්දිනය යෙදී ඇති රියර් අද්මිරාල් උපුල් ද සිල්වා වෙත උපන් දින සුභපැතුම් එක් කිරීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මගින් ඔහු වෙත උත්තමාචාරය පුද කෙරිණි. සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික හමුදා මූලස්ථානයේ සිට, නාවික රථ පෙළපාලියකින් පිටව යන මොහොතේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් එම ජ්‍යේෂ්ඨ නිලධාරියා හට සුභාශිංසන පිරිනමන ලදි.

1986 වර්ෂයේදී 15 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් උපුල් ද සිල්වා, තම සේවා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හි අණභාර නිලධාරී ලෙස සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා හා ආයතනයන්හී අණදෙන නිලධාරී වශයෙන් රාජකාරී සිදුකර ඇත. එමෙන්ම, ඔහු ශ්‍රීලංනානෞ ශික්ෂා ආයතනයේ ආඥාපති, නියෝජ්‍ය අධ්‍යක්ෂ නාවික පුහුණු, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්, නාවික පරීක්‍ෂණ ඒකකයේ අධ්‍යක්ෂ, උතුරු මැද නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ වැඩබලන අධ්‍යක්‍ෂක ජෙනරාල් නාවික හා ගුවන් මෙහෙයුම්, අධ්‍යක්ෂ නාවික සංඥා, නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති හා ත්‍රිකුණාමලය වරාය පහසුකම් ආරක්‍ෂක නිලධාරී, ධජ නිලධාරී නාවික දියත් විධානය, ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, අධ්‍යක්ෂ ජෙනරාල් පුද්ගල, බටහිර නාවික විධානයේ ආඥාපති, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ආදී ප්‍රමුඛ නිල තල දරමින් කටයුතු කල කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.