නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් අනුර ඒකනායක පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස 2022 ජූලි මස 09 වන දින සිට පත්වූ රියර් අද්මිරාල් අනුර ඒකනායක වෙත අද (2022 ජුලි 12) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් එම පත්වීමේ ලිපිය නිල වශයෙන් ප්‍රදානය කර ඔහු වෙත සිය සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි.

මහනුවර ධර්මරාජ විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන රියර් අද්මිරාල් අනුර ඒකනායක, 1987 වර්ෂයේදී 16 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක් විය. නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් මූලික පුහුණුව සාර්ථක ලෙස අවසන් කර 1989 වර්ෂයේ උප ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත් වන ඔහු, සිය උප ලුතිනන් තාක්‍ෂණික පාඨමාළාව 1991 වර්ෂයේ ඉන්දීය නාවික හමුදාවෙන් සාර්ථකව හදාරා, දිය යට සංග්‍රාම සම්බන්ධ විශේෂඥතාව 1997 වර්ෂයේදී ඉන්දීය නාවික හමුදා වෙන්දුර්ති හි පිහිටි දිය යට සංග්‍රාමික පාසල වෙතින් ලබා ඇත. එතැන් සිට ක්‍රමාණුකූලව උසස් වීම් ලබමින් 2020 වර්ෂයේ ජූලි මස 17 දින ඔහු රියර් අද්මිරාල් නිලයට උසස් වී ඇත.

සිය සේවා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විවිධ නිළතල රාශියක් දරා ඇති ඔහු වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හි අණභාර නිලධාරී ලෙස සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා හා ආයතනයන්හී අණදෙන නිලධාරී වශයෙන් රාජකාරී සිදු කොට ඇත. තවද ඔහු, නියෝජ්‍ය අධ්‍යක්ෂ නාවික මෙහෙයුම්, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණු කපිතාන්, නාවික පරීක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ, කොමදෝරු මුහුදු පුහුණු, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හමුදා සම්බන්ධීකාරක, ගිනිකොන නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති සහ අධ්‍යක්‍ෂ නාවික ප්‍රතිපත්ති හා සැලසුම් වැනි ප්‍රමුඛ නිලතල දරා ඇති කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

තවද, රියර් අද්මිරාල් අනුර ඒකනායක ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙ‍පාර්තමේන්තුවේ 6 වන අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස එම ධූරයෙහි කටයුතු කරන අතරතුර, 2022 ජූලි මස 09 වන දින සිට නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස පත් කෙරුණු අතර, ඊට අදාල පත්වීම් ලිපිය නාවික හමුදාධිපති විසින් රියර් අද්මිරාල් අනුර ඒකනායක වෙත නිල වශයෙන් භාරදීම අද (2022 ජුලි 12) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.