නාවික පර්යේශණ ඒකකය විසින් ප්‍රකාශයට පත් කෙරෙන නාවික සඟරාවෙහි දසවන කලාපය එළිදකී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ පර්යේශණ ඒකකය විසින් ප්‍රකාශයට පත් කෙරෙන නාවික සඟරාවෙහි (Bi- Annual Navy Journal) දසවන කලාපය නාවික හමුදා පර්යේශණ ඒකකයේ ප්‍රධානි, කපිතාන් අරුණ විජයවර්ධන විසින් අද (2022 ජුලි 15) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත පිළිගන්වන ලදී.

ජාතික සහ ‍ගෝලීය වශයෙන් පවත්නා කාලීන ගැටළු ඇතුළු විවිධ විෂය ක්‍ෂේත්‍රයන් සම්බන්ධයෙන් නාවික පුද්ගලයන්ගේ විශ්ලේෂණාත්මක ශාස්ත්‍රීය ලිවීමේ හැකියාව වර්ධනය කිරීම මෙන්ම නාවික පුද්ගලයන් පර්යේශණ නිබන්ධන ලිවීම කෙරෙහි උනන්දු කරවීමත් ‘නාවික සඟරාව’ මගින් අපේක්‍ෂා කෙරේ.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනය, ඉන්දීය සාගර කලාප‍යේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්ය භාරය හා නාවික හමුදා මෙහෙයුම් සඳහා නව තාක්‍ෂණයේ භාවිතය ඇතුළු විවිධ ක්‍ෂේත්‍රයන් සම්බන්ධයෙන් නාවික පුද්ගලයන් විසින් රචිත හරවත් පර්යේශණාත්මක ලිපි එකතුවකින් මෙවර කලාපය සමන්විත වේ.