සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 36 ක් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අධිකාරියට පත් කෙරේ

ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ සහ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව ලැබූ, කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 35 වන (තාක්‍ෂණික) සහ 36 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරින් 36 ක් විසිර යාම හා අධිකාරියට පත් කිරීම 2022 ජුලි මස 22 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ආරාධනයෙන්, ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී, පැවැත්විණි.

ඒ අනුව, සාර්ථකව පුහුණුව අවසන් කල ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 35 වන බඳවා ගැනීමට අයත් තාක්‍ෂණික අංශයේ මධ්‍ය නිලධාරීන් 11 දෙනෙකු සහ 36 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරින් 25 දෙනෙකු නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේ පැවති අභිමානවත් අධිකාරියට පත්කිරීමේ පෙළපාලිය අවසන තම දෙමව්පියන් සහ සම්භාවනීය අමුත්තන් ඉදිරියේ විසිර යන ලදී.

පුහුණුවීම් කාලසීමාව තුළදී විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ මධ්‍ය නිලධාරීන් හට ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් විසින් එහිදී විශේෂ සම්මාන ප්‍රදානය කෙරිණි. ඒ අනුව, කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 35 වන බඳවා ගැනීමේ තාක්‍ෂණික අංශයේ දක්‍ෂතම මධ්‍ය නිලධාරියාට හිමි සම්මානය මධ්‍ය නිලධාරී, එච්ඒඑස්වී හපුආරච්චි විසින් හිමි කර ගන්නා ලදී.

එමෙන්ම, කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 36 වන බඳවා ගැනීමේ දක්‍ෂතම මධ්‍ය නිලධාරියාට හිමි සම්මානනීය අසිපත සහ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය මධ්‍ය නිලධාරී, අයිඑස් වීරසිංහ විසින්ද, වෘත්තීය විෂයයන් ගෙන් හා සියළු විෂයයන් ගෙන් වැඩිම ලකුණු ලබා ගත් මධ්‍ය නිලධාරියාට හිමි සම්මාන මධ්‍ය නිලධාරී, එස්එන් අබේවර්න විසින් සහ හොඳම ඉලක්කකරුට හිමි සම්මානය මධ්‍ය නිලධාරී ආර්පීපීඑස් රාජපක්‍ෂ විසින්ද හිමි කර ගන්නා ලදී.

මෙහිදී අධිකාරියට පත් නිලධාරීන් ඇමතූ ආරක්‍ෂක ලේකම්, නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුව සංවිධානය කරන ලද මධ්‍ය නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ හා විසර යාමේ ආකර්ෂණීය පෙළපාලිය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගීවීමට ලැබීමත්, ශ්‍රී ලංකා නාවික හමුදාවට බැඳී ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා පවුලට එක්වූ අධිකාරියට පත් නිලධාරීන් පිළිගැනීමට ලැබීමත් භාග්‍යයක් කොට සලකන බව ප්‍රථමයෙන් ප්‍රකාශ කරන ලදි.

මෙහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්‍ෂක ලේකම්, ලෝකයේ කුරිරුතම ත්‍රස්තවාදී සංවිධානය ලෙස හැඳින්වෙන එල්ටීටීඊ සංවිධානය විසින් එල්ල කල බරපතල තර්ජනයන් මැඩපැවැත්වීමට සමත් ලොව පිළිගත් සන්නද්ධ හමුදාවක් ශ්‍රී ලාංකිකයන් සතුව ඇති බවත්, දශක තුනකට ආසන්න කාලයක් මෙරට පැවති කුරිරු ත්‍රස්තවාදයට එරෙහි සටනේදී මුහුදු සැපයුම් අඛණ්ඩව පවත්වා ගනිමින් සතුරා සමග අභීතව සටන් කර මුහුදේ ආරක්‍ෂාව සහතික කරමින් මානුෂීය මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව දැක්වූ දායකත්වය ඉතා ප්‍රශංසනීය බවත් සඳහන් කරන ලදි. මානුෂිය මෙහෙයුමේදී මාතෘභූමියේ සාමය සහ ස්ථාවරත්වය සුරක්ෂිත කිරීම උදෙසා ජීවිත පරිත්‍යාග කළ නාවික හමුදාවේ විශිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් විශේෂයෙන් සිහිපත් කල යුතු බව සඳහන් කළ ආරක්‍ෂක ලේකම්, රටක් වශයෙන් අත්විඳින්නට සිදු වූ දුෂ්කර කාලසීමාව තුළ ජාතියේ අපේක්ෂාව වූ ත්‍රස්තවාදයෙන් තොර රටක් වෙනුවෙන් තම තාරුණ්‍යය කැප කරමින් ඔවුන් කල උත්තරීතර කැපකිරීම ගෞරවයෙන් අනුස්මරණය කිරීම අප සැමගේ පරම යුතුකම බවත් පවසන ලදි.

ඉන්දියන් සාගරය ඔස්සේ රට මුහුණ දෙන සාම්ප්‍රදායික නොවන මුහුදු අභියෝගයන් ලෙස සැලකෙන මිනිස් ජාවාරම, මත්ද්‍රව්‍ය ජාවාරම, ජාත්‍යන්තර අපරාධ සහ ස්වභාවික විපත් ඇතුළු තවත් බොහෝ තර්ජන මැඩපැවත්වීම සඳහා අතීතයේ නාවික රණවිරුවන් කැපවූ අයුරින්ම, අධිකාරියට පත්වන නවක නිලධාරීන්ගේද කැපවීම මව්බිමේ ආරක්ෂාව සහ ස්වෛරීභාවය තහවුරු කිරීමට අපේක්‍ෂා කරන බවත්, ශ්‍රී ලංකා නාවික හමුදාවට බැඳී මව්බිමට සේවය කිරීමට එක්වීම පිළිබඳව අධිකාරියට පත් නිලධාරින් අතිශයින් ආඩම්බර විය යුතු බවත් පවසන ලදි.

එමෙන්ම, විසිර යන නිලධාරීන් ඉදිරියේදී තම වෘත්තීය ජීවිතය සාර්ථක කරගැනීම සඳහා වැඩිදුර පුහුණුවීම් අවස්ථා වෙත යොමු වෙමින් හැකියාවන් හා කුසලතා තවදුරටත් වර්ධනය කර අනාගතයේ ශ්‍රී ලංකා නාවික හමුදාව මෙහෙයවීම සඳහා නායකත්වය ලබාදිය හැකි පරිණත නිලධාරීන් බවට පත්වන බවත්, ඒ සඳහා ඕනෑම අභියෝගයක් ජයගැනීමට අවශ්‍ය අධිෂ්ඨානය, නායකත්ව ගුණාංග හා කැපවීම පුහුණුව තුලින් ලබාදී ඇති බවත් සඳහන් කරන ලදි.

ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන් රටේ ආදායමෙන් සැලකිය යුතු කොටසක් රටේ ආරක්ෂාව සඳහා නිරන්තරයෙන් වෙන් කරන බවත්, විසිර යන නිලධාරීන් නාවික නිලධාරියෙකු වශයෙන් ජාතිය වෙනුවෙන් තම රාජකාරිය අසීමිත පක්ෂපාතීව සහ අවංකභාවයෙන් ඉටු කළ යුතු බවත්, නාවික හමුදාව ලබාදෙන රජයේ සම්පත් අරපිරිමැස්මෙන් යුතුව පරිහරණය කර අනාගතයට එම සම්පත් රැකදීම හා දිගු කාලීනව ඒවා ආරක්ෂා කර ගනිමින් අපේක්ෂිත අවසානය ලබා ගැනීම සඳහා ඒවා නිසි ලෙස භාවිතා කිරීම සහතික කළ යුතු බවත් පවසන ලදි.

රටේ ස්‍‍‍වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය සුරැකීමේ අභියෝගය සන්නද්ධ හමුදාවන්ට පැවරෙන බව සඳහන් කල ආරක්‍ෂක ලේකම්, තම දරුවන් හට ඉතාමත් නිවැරදි තීන්දුවක් ගැනීම සඳහා නිසි මඟ පෙන්වීම ලබාදුන් අධිකාරියට පත් නිලධාරීන්ගේ දෙමව්පියන් වෙත කෘතඥතාවය පල කර දරුවන් ගත් තීරණය සම්බන්ධයෙන් දෙමව්පියන් ආඩම්බර විය යුතු බවත් වැඩිදුරටත් පවසන ලදී.

අවසාන වශයෙන්, ජාතිය කෙරෙහි පක්ෂපාතිත්වය කිසි විටෙකත් ප්‍රශ්න නොකළ යුතු බවත්, සිවිල් නීතියට අමතරව නාවික නීතියටද යටත්ව ආදර්ශමත් නාවික නිලධාරීයෙකු ලෙස කටයුතු කරමින් රටේ අභිමානය ඉහළ තලයකට ඔසවා තැබීමට විසිර යන නිලධාරීන්ට සියලු ශක්තිය ලැබේවායි පතමින්, මෙම නිලධාරීන් පුහුණු කිරීමට කැපවූ නාවික හමුදාධිපති සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති වෙතත් සිය ප්‍රශංසාව පලකර විසිර යන නිලධාරීන් වෙත ආරක්ෂක ලේකම් විසින් සිය සුභාශිංසන පිරිනමන ලදී.

මෙම අධිකාරියට පත් කිරීමේ උත්සවය සඳහා ආරක්‍ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒක‍කයේ සභාපතිනී චිත්‍රානි ගුණරත්න මහත්මිය, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චන්දිමා උළුගේතැන්න මහත්මිය, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් අනුර ඒකනායක, අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් රවී රණසිංහ, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න, අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රසන්න මහවිතාන, අධ්‍යක්ෂ ජෙනරාල් (අයවැය හා මුදල්) රියර් අද්මිරාල් තිලක් සිගේරා, නාවික හමුදාධිපතිගේ නාවික සහායක රියර් අද්මිරාල් සුජීව සෙනෙවිරත්න, අධ්‍යක්ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් මහින්ද මහවත්ත, වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා, ගිනිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙරුම, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන්, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති ‍කොමදෝරු ඩේමියන් ප්‍රනාන්දු ඇතුළු ධජ නිලධාරීන්, නාවික හමුදා මූලස්ථානයේ මෙන්ම නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සම්භාවනිය අමුත්තන් සහ විසිර යන නිලධාරීන්ගේ දෙමව්පියන් පිරිසක් සහභාගීවී සිටියහ.

නාවික හමුදා සංස්කෘතික කණ්ඩායම විසින් ඉදිරිපත් කරනු ලැබූ විචිත්‍රවත් සංස්කෘතික සංදර්ශණයකින් සහ නාවික හමුදා වාද්‍ය වෘන්දය විසින් ඉදිරිපත් කරන ලද සංදර්ශනයකින් අනතුරුව නාවික සම්ප්‍රදායන්ට අනුකූලව සිදු කරන ලද හිරු අස්ථවිය චාරිත්‍රයත් සමඟින් අධිකාරියට පත් කිරීමේ උළෙල නිමාවට පත්විය.