උතුරු නාවික විධානයේ නාවික තඨාකාංගනය වෙත ISO 45001:2018 ප්‍රමිති සහතිකය ප්‍රදානය කෙරේ

උතුරු නාවික විධානයේ නාවික තඨාකාංගනය සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්‍ෂිත කළමනාකරණ පද්ධති සහතිකය ප්‍රදානය කිරීම ISO 45001:2018 (OCCUPATIONAL HEALTH & SAFETY MANAGEMENT SYSTEM CERTIFICATION) 2022 ජූලි මස 21 වන දින කරෛයිනගර්හි ‍‍‍‍ ෆෝට් හැමන්හිල් හෝටල් පරිශ්‍රයේදි, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්/ ප්‍රධාන විධායක නිලධාරී, ආචාර්ය සිද්දිකා සේනාරත්න මහත්මිය ගේ සහ උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

උතුරු නාවික විධානයේ නාවික තඨාකාංගනයෙහි රාජකාරි නියුතු සියළුම නාවික පුද්ගලයින් සඳහා වඩාත් ආරක්ෂිත සහ සෞඛ්‍ය සම්පන්න සේවා පරිසරයක් සහතික කිරිමට හැකි වී තිබිම මෙම ප්‍රමිති සහතිකය පිරිනැමිමට ප්‍රධාන සාධකයක් වී ඇත. එමෙන්ම, රාජකාරින්හි නියැලෙන නාවික පුද්ගලයින් නිරන්තරයෙන් දැනුවත් කිරීමෙන් ඔවුනට විවිධ අවස්ථාවන්හිදි සිදුවන හදිසි අනතුරු, උපද්‍රව සහ රෝගාබාධ වළක්වා ගැනීමට හැකි බවත්, ඒ අනුව වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂාව පිළිබඳව ජාතික සහ ජාත්‍යන්තර නෛතික ප්‍රමිතීන්ට අනුකූලව නාවික තඨාකාංගනයෙහි රාජකාරි පරිසරය සකස් කර තිබිමද මෙම සහතිකය ප්‍රධානය කිරිමට මුලික වු තවත් සාධකයකි.

මෙම අවස්ථාවේදි උතුරු නාවික විධානයේ කොමදෝරු අධිකාරී තඨාකාංගනය ලෙස කටයුතු කරනු ලබන, කොමදෝරු (ඉංජිනේරු) චන්දන බෝපාගොඩ විසින් එම විධානයේ ආයතනික ආරක්ෂණ ප්‍රතිපත්ති රාමුව සහ එමඟින් රාජකාරියේදී සිදුවන අනතුරු අවම කර ගැනීමට හැකි වු ආකාරය සම්බන්ධයෙන් මෙහිදි ඉදිරිපත් කිරිමක්ද සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සදහා ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනය නියෝජනය කරමින් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් එස්යූ නාරංගොඩ මහත්මිය සහ නාවික හමුදා මූලස්ථානය නියෝජනය කරමින් අධ්‍යක්ෂ සාගරික ඉංජිනේරු කොමදෝරු (ඉ) කපිල ද සිල්වා ඇතුළු උතුරු නාවික විධානයේ නිලධාරින් පිරිසක් සහභාගි වී සිටියහ.