රියර් අද්මිරාල් මොහාන් ජයමහ රණවිරුවාගේ 30 වන ගුණානුස්මරණය වෙනුවෙන් විශේෂ දේව මෙහෙයක්

මව්බිම වෙනුවෙන් දිවිපිදූ රියර් අද්මිරාල් මොහාන් ජයමහ, අභීත රණවිරුවාගේ 30 වන ගුණානුස්මරණය වෙනුවෙන්, විනෝදා ජයමහ මැතිණිය ඇතුළු පවුලේ ඥතින්ගේ ප්‍රධානත්වයෙන් 2022 අගෝස්තු මස 08 වන දින තිඹිරිගස්යාය ශාන්ත තෙරේසා දේවස්ථානයේදී ගරු චන්දන පෙරේරා පියතුමාගේ මෙහෙය විමෙන් විශේෂ දේව මෙහෙයක් පවත්වන ලද අතර, ඒ සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගීවිය.

රියර් අද්මිරාල් මොහාන් ජයමහ එවකට උතුරු නාවික විධානයේ ආඥාපති ලෙස කටයුතු කරමින් සිටියදී, ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් සමඟ යාපනය ප්‍රදේශය එල්ටීටීඊ ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදා ගැනීම සඳහා විශේෂ ඒකාබද්ධ මෙහෙයුමක් සැලසුම් කරන ලදි. එම විශේෂ මෙහෙයුමට අදාලව සැලසුම් සිදුකරමින් සිටියදී කයිට්ස් දුපතේ අරාලි ප්‍රදේශයේදී 1992 වර්ෂයේ අගෝස්තු මස 08 වන දින එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගමන්ගත් රථයට එල්ලවූ ත්‍රස්තවාදී බිම් බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන්, ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ රියර් අද්මිරාල් මොහාන් ජයමහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු යුද හා නාවික හමුදා නිලධාරීන් 10 දෙනෙකු සහ එක් යුද හමුදා සෙබළෙකුගේ ජීවිත මව්බිමට අහිමිවිය.

ඒ අනුව, රියර් අද්මිරාල් මොහාන් ජයමහ රණවිරුවා ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී එලෙස මව්බිම වෙනුවෙන් දිවිපුදදී වසර 30 ක් සපිරීම නිමිත්තෙන් මෙම විශේෂ ගුණානුස්මරණ දේව මෙහෙය, රියර් අද්මිරාල් මොහාන් ජයමහ රණවිරුවාගේ භාර්යාව වන විනෝදා ජයමහ මැතිනිය ඇතුළු පවුලේ ඥතීන්ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදාධිපති ඇතුළු විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2022 අගෝස්තු මස 08 වන දින පැවැත්වීමට කටයුතු කෙරිණි.

මෙහිදි තිඹිරිගස්යාය ශාන්ත තෙරේසා දේවස්ථානයේ ගරු චන්දන පෙරේරා පියතුමාගේ මෙහෙයවීමෙන් පැවති අශිර්වාද දේව මෙහෙයෙන් අනතුරුව, රියර් අද්මිරාල් මොහාන් ජයමහ අභීත රණවිරුවා වෙනුවෙන් විශ්‍රාමික නාවික හමුදාධිපති වරයෙක් වන, අද්මිරාල් තිසර සමරසිංහ විසින් ගුණකතනයක් සිදුකිරීමෙන් අනතුරුව, මෙම ගුණානුස්මරණ විශේෂ දේව මෙහෙය නිමාවට පත්විය.

දශක 3 කට ආසන්න කාලයක් රට වෙළා පැවති ත්‍රස්තවාදය මෙරටින් මුලිනුපුටා දැමීම වෙනුවෙන් විරෝධාර රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් සිදුකළ දායකත්වය හේතුවෙන් මානුෂීය මෙහෙයුම විජයග්‍රහණයකින් අවසන් කිරීමට හැකියාව ලැබිණි. මව්බිමේ නිදහස වෙනුවෙන් විරෝධාර රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරමින් සිදුකල එම උත්තරීතර කැපකිරීම සදා අනුස්මරණය කිරීම අප සැමගේ පරම යුතුකමයි.