නාවික හමුදාධිපති ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයෙකු වශයෙන් පත්වීම් ලබයි

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව ප්‍රවර්ධනය, සංවර්ධනය සහ පාලනය සම්බන්ධ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් සැපයීම සඳහා ස්ථාපිත ජාතික ක්‍රීඩා සභාවේ සභාපති සහ සාමාජිකයන් හට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2022 අගෝස්තු මස 10 වන දින කොළඹ ටොරින්ටන් පෙදෙසෙහි ජාතික ක්‍රීඩා සභාවේදී පැවැත්වුණු අතර, එහිදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයෙකු ලෙස පත් කිරීම සිදුකෙරිණි.

ඒ අනුව, ජාතික ක්‍රීඩා සභාවේ නව සභාපති වරයා වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා පත් කෙරුණු අතර, එහි සාමාජිකයන් ලෙස පත් කෙරුණු ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ අනෙකුත් සාමාජිකයන් වෙත ඊට අදාල පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙලෙස සිදුකෙරිණි.

වත්මන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, 2009 වර්ෂයේ සිට 2013 වර්ෂය දක්වා ශ්‍රී ලංකා නාවික හමුදා මලල ක්‍රීඩා සංගමයේ සභාපති වශයෙන් ද, 2019 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා ආරක්‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වශයෙන්ද කටයුතු කරමින් ක්‍රීඩාවේ ප්‍රගමනය සඳහා දායක වී ඇත.

එමෙන්ම, නාවික හමුදාධිපති 2020 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන අතර, ඔහුගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ නාවික හමුදා ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට වැඩිදුර විශේෂඥ පුහුණු අවස්ථා හා වෙනත් සුභසාධන පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන ලදි. එහි ප්‍රථිපලයක් වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් 2021 ටෝකියෝ ඔලිම්පික් උලෙල සඳහා වෙඩි තැබීමේ ඉසව්වෙන් එක් ක්‍රීඩිකාවක් සහභාගී කරවීමට හා 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 18 දෙනෙක් සහ එක් නිලධාරියෙක් සහභාගී කරවීමට හැකිවීම නාවික හමුදාවට පමණක් නොව මව්බිමටද විශාල අභිමානයකි.

‍තවද, නාවික හමුදාධිපති, ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයෙකු ලෙස පත්වීම මඟින්, මෙරට ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ ඉදිරි අභිවෘද්ධිය උදෙසා ඔහුට සුවිශේෂි දායකත්වයක් ලබාදිමට හැකියාව ලැ‍බෙනු ඇත.