ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් විසිතුරු සමරු ඵලක නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක්

නාවික පුද්ගලයින්ගේ නිර්මාණශීලී ශිල්පීය දායකත්වයෙන් හා ස්වාභාවික අමුද්‍රව්‍ය උපයෝගී කරගනිමින් නාවික හමුදාවේ අවශ්‍යතාවය සඳහා සමරු ඵලක නිර්මාණය කිරීම වෙනුවෙන්, වැලිසර නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගණයේ ආරම්භ කළ සමරු ඵලක නිෂ්පාදන ව්‍යාපෘතිය යටතේ නිර්මාණය කල විසිතුරු සමරු ඵලක ආකෘති, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ නිරීක්ෂණය සඳහා ඉදිරිපත් කිරීම අද (2022 අ‍ගෝස්තු 12) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ සංකල්පයක් මත නාවික හමුදාවේ විවිධ අවස්ථාවන්හිදී සහ නිල හමුවීම් වලදී පිළිගැන්වීම වෙනුවෙන් මෙම සමරු ඵලක නිර්මාණය කිරීම, නියමු ව්‍යාපෘතියක් ලෙස වැලිසර නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගනයේදී 2022 වර්ෂයේ අප්‍රේල් මාසයේදී ආරම්භ කෙරිණි.

ඒ අනුව, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු, රියර් අද්මිරාල් රවී රණසිංහගේ අධීක්‍ෂණය යටතේ, වැලිසර නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගනයේ දී පොල්කටු, දැව, උණ පතුරු ඇතුළු විවිධ පරිසර හිතකාමී අමුද්‍රව්‍ය සංයෝගයෙන් නිර්මාණය කරන ලද විසිතුරු සමරු ඵලක ආකෘති නාවික හමුදාධිපතිගේ නිරීක්ෂණය සඳහා ඉදිරිපත් කිරීම මෙලෙස අද දින (2022 අ‍ගෝස්තු 12) සිදුකෙරිණි.

මෙම ව්‍යාපෘතිය යටතේ නිෂ්පාදනය කෙරෙන සමරු ඵලක නෞකා හා ආයතනයන්ගේ අවශ්‍යතාවයන් සඳහා මෙන්ම නාවික පුද්ගලයන්ගේ විවිධ අවශ්‍යතාවයන් සඳහා නාවික හමුදා සුභසාධක අංශය මඟින් පහසුවෙන් ලබාගැනීමට හැකිවන පරිදි වැඩ පිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇත.

තවද, නිල හමුවීම් සඳහා පැමිණෙන රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ඇතුළු විදේශීය ධූත පිරිස් වෙත මෙවැනි විසිතුරු සමරු ඵලක පිලිගැන්වීම තුලින් දේශීය අත්කම් නිර්මාණ ප්‍රවර්ධනය කිරීමට පමණක් නොව, එමඟින් ඉදිරියේදී වැඩි සංචාරක ආකර්ශනයක් දිනාගැනීමට ද හැකියාව ලැබෙනු ඇත.