ශ්‍රී ලංකා හා පකිස්තාන නාවික හමුදාව අතර පැවැත්වීමට නියමිත සුහද නාවික අභ්‍යාසය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පකිස්තාන නාවික හමුදාව අතර, යුද අභ්‍යාසයක් සිදුකිරීමට නියමිත බවට විවිධ මාධ්‍ය ඔස්සේ පලවන පුවත් වාර්තාවන්ගේ සත්‍යතාවයක් නොමැති අතර, නිල සංචාරයක් සඳහා පසු ගියදා කොළඹ වරායට සේන්දු වූ පාකිස්තානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ නෞකාව 2022 අගෝස්තු මස 15 වන දින එම නිල සංචාරය අවසන් කරමින් දිවයිනෙන් පිටත්ව යන අවස්ථාවේදී කොළඹ වරායට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව සමඟ සුහද ඒකාබද්ධ නාවික අභ්‍යාසයක ( Passage Exercise) පමණක් නිරත වීමට නියමිතය.

විදේශීය නාවික හමුදාවන් සමඟ අන්තර් ක්‍රියාකාරීත්වය හා සුහදශීලීත්වය වර්ධනය කරගැනීම මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයන්ගේ කුසලතාවයන් වර්ධනය කිරීමේ අරමුණින් මෙරටට නිල සංචාරයන් සඳහා පැමිණෙන විදේශීය නාවික හමුදාවන්ට අයත් නෞකා දිවයිනෙන් පිටත්ව යන අවස්ථාවේදී සුහද නාවික අභ්‍යාසයන් (Passage Exercise) එම නාවික හමුදාවන්ගේද එකඟතාවය මත ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තරයෙන් පවත්වනු ලබයි.

ඒ අනුව, පවත්වනු ලබන මෙම සුහද නාවික අභ්‍යාසයේදී ( Passage Exercise), පකිස්ථාන නාවික නෞකා ‘TAIMUR’ නෞකාව හා ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව අතර නෞකා හැසිරවීම් සහ සෙවීමේ හා මුදවාගැනීමේ අභ්‍යාස සිදුකිරීමට නියමිතය.

එමෙන්ම, ‍මීට පෙරද අවස්ථා ගණනාවකදී මෙවැනිම සුහද නාවික අභ්‍යාසයන් (Passage Exercise) ඉන්දියාව, පකිස්තානය, බංගලාදේශය, ජපානය, ජර්මනිය, බ්‍රිතාන්‍ය, රුසියාව සහ ඕස්ට්‍රේලියාව වැනි නාවික හමුදාවන් සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකර ඇත.

තවද, කලාපීය මෙන්ම කලාපීය නොවන නාවික හමුදාවන් සමඟ සිදු කෙරෙන මෙවැනි ඒකාබද්ධ නාවික අභ්‍යාස මඟින් වැඩි දියුණුවන සහයෝගීත්වය තුළින් පොදු සමුද්‍රීය අභියෝග සමූහිකව ජයගැනීම මෙන්ම දේශයේ ප්‍රථම ආරක්‍ෂක වළල්ල ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකරනු ලබන සියළු සාගරික මෙහෙයුම් සඳහා අවශ්‍ය නව දැනුම, ක්‍රමෝපායන් සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමට අවස්ථාව උදාවනු ඇත.