රිම් ඔෆ් ද පැසිෆික් - 2022 (RIMPAC) බහුපාර්ශවීය සාගරික අභ්‍යාසය සඳහා සහභාගිවූ නාවික හමුදා කණ්ඩායම දිවයිනට පැමිණේ

ඇමෙරිකානු නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමුහය (US Pacific Fleet) විසින් සංවිධානය කරනු ලැබූ Rim of the Pacific 2022 (RIMPAC 2022) බහුපාර්ශවීය සාගරික අභ්‍යාසයට සහභාගීවීම සඳහා දිවයිනෙන් පිටත්වූ ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් භට කණ්ඩායම, ඇමෙරිකා එක්සත් ජනපදයේ හවායි දූපත් හා දකුණු කැලිෆෝර්නියා ආශ්‍රිත ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැසිෆික් සාගර කලාපය තුල පැවැත්වූ RIMPAC 2022 සාගරික අභ්‍යාසය 2022 අගෝස්තු මස 03 වන දින සාර්ථකව අවසන් කරමින් 2022 අගෝස්තු මස 08 වන දින නැවත දිවයිනට පැමිණෙන ලදී.

මෙම බහුපාර්ශවීය සාගරික අභ්‍යාසය සඳහා සහභාගීවීමට නිලධාරීන් හා නාවිකයන් 50 දෙනෙකු ගෙන් සමන්විත ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් කණ්ඩායම 2022 ජුනි 04 රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් ඕස්ට්‍රේලියාව බලා පිටත්වූ අතර, එහිදී ඔස්ට්‍රේලියාවේ ටවුන්විල් හිදි සහ රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් කැන්බරා (HMAS Canberra) නෞකාව තුල ඒකාබද්ධ පුහුණුවීම් අභ්‍යාස සිදුකිරීමෙන් අනතුරුව, පැසිෆික් සාගර කලාපය තුල පැවැත්වූ RIMPAC 2022 සාගරික අභ්‍යාසය සඳහා සහභාගී වුහ.

2022 ජුනි මස 29 වන දින ආරම්භ වූ මෙම අභ්‍යාසය මෙවර පවත් වන ලද්දේ විසි අටවන වරට (28) වන අතර, මෙම අභ්‍යාසය සඳහා ශ්‍රීලංකාව, ඕස්ට්‍රේලියාව, බෲනායි, කැනඩාව, චිලී, කොලොම්බියාව, ඩෙන්මාර්ක්, ඉක්වදෝර්, ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඊශ්‍රායලය, ජපානය, මැලේසියාව, මෙක්සිකෝව, නෙදර්ලන්තය, නවසීලන්තය, පේරු, කොරියානු ජනරජය, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය, ටොන්ගා රාජ්‍ය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය ඇතුළුව රටවල් 26ක යුද නෞකා 38ක්, සබ්මැරීන් 03ක් ගොඩබිම් බලකා 09ක්, යුද ගුවන් යානා 170ක් පමණ සහ 25000 ක පමණ හමුදා සාමාජිකයන් ප්‍රමාණයක් සහභාගී වූහ.

ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් භට කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ ටවුන්විල් හිදි ඔස්ට්‍රේලියා රාජකීය යුද හමුදා සාමාජිකයින් සමඟ එක්ව සතියක ක්ෂේත්‍ර පුහුණු වැඩසටහනකට සහභාගී වූ අතර, එහිදී කුඩා අවි හැසිරවීම් සහ වෙඩි තැබීමේ අභ්‍යාස, නගර බද මෙහෙයුම්, සටන් පුහුණු සහ ක්ෂේත්‍ර සංඥා ඇතුළු පුහුණුවීම් කටයුතු රැසක් සිදුකරන ලදී. තවද, ඔස්ට්‍රේලියා රාජකීය නාවික හමුදාවට අයත් කැන්බරා නෞකාව මගින් ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් කණ්ඩායම හවායි බලා යාත්‍රා කරන අතරතුර, ඔස්ට්‍රේලියානු සහ ටොන්ගා රාජ්‍යයේ භට කණ්ඩායම් හා එක්ව පිරිස් විසුරුවා හැරීම, නගරබද සටන්, නෞකාවෙන් ගොඩබැසීමේ අභ්‍යාස සහ උභයතරණ අභ්‍යාස ඇතුළු මෙහෙයුම් සැලසුම් කිරීම පිලිබඳ පුළුල් දැනුමක් ලබා ගැනීමටත් කටයුතු කරන ලදී.

එමෙන්ම ලොව විශාලතම බහුපාර්ශවීය සාගරික අභ්‍යාසය ලෙස සැලකෙන මෙම අභ්‍යාසය තුලදී සිදුකල උභයතරන ප්‍රහාරක අභ්‍යාසය සඳහා (RIMPAC Amphibious Assault) ඔස්ට්‍රලියාව,චිලී රාජ්‍ය, ඉන්දුනීසියාව,මැලේසියාව,මෙක්සිකෝව, කොරියානු ජනපදය, ටොන්ගා රාජ්‍යය සහ ඇමෙරිකා එක්සත්ජනපදය සමඟ ශ්‍රී ලංකාවද සහභාගිවූ අතර, එහිදී ලොව විවිධ රාජ්‍යන් මෙවැනි මෙහෙයුම් වලදී භාවිතා කරනු ලබන නවීන තාක්ෂණික උපාංග පිළිබඳ ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් කණ්ඩායමට සුවිශේෂී අත්දැකීම් සම්භාරයක් ලබාගැනීමට අවස්ථාව උදාවිය. එහිදී සිදුකල නෞකාව මතින් හෙලිකොප්ටර් යානා වෙත ගොඩවීම, ගුවනේ සිට ගොඩබිම් ප්‍රදේශ වෙත ගොඩ බැසීම සහ ආරක්ෂාව තහවුරු කිරීමේ අභ්‍යාස ශ්‍රී ලංකා මැරීන් කණ්ඩායමට නවමු අත්දැකීමක් විය.

තවද, සමුද්‍රීය ආරක්ෂාව සහ ගුවන් ආරක්ෂක මෙහෙයුම් ආවරණය වන පරිදි සිදු කරන ලද ලොව විශාලතම බහුපාර්ශවීය සාගරික අභ්‍යාසය වන මෙම අභ්‍යාසය ආපදා සහන, ප්‍රති සබ්මැරීන යුද උපක්‍රම, මිසයිල ප්‍රහාර, ගුවන් සහ ගොඩබිම් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම, මුහුදු මංකොල්ල පිටුදැකීමේ අභ්‍යාස, බෝම්බ ඉවත් කිරීම, උභයතරණ, මුහුදේදී නෞකා අතර, භාණ්ඩ හුවමාරුව සහ කිමිදුම් මෙහෙයුම් ආදී අභ්‍යාසයන්ගෙන් සමන්විත විය. කලාපීය සහ කලාපීය නොවන රාජ්‍යන්ට අයත් ලොව ප්‍රබල නාවික හමුදාවන් සහභාගීවන මෙවැනි බහුපාර්ශවීය සාගරික අභ්‍යාස සඳහා සහභාගීවීමට හැකිවීමෙන්, නවීන තාක්ෂණික උපාංග භාවිතයෙන් සිදුකරනු ලබන නාවික මෙහෙයුම් පිලිබඳ අත්දැකීම් ලබාගැනීමටත්, ක්‍රමෝපායන් පිලිබඳ නව දැනුම හුවමාරු කරගැනීමටත්, විදේශිය මැරීන් බලකායන් සමඟ අන්න්‍යෝන්‍ය අවබෝධය තවදුරටත් වර්ධනය කර ගැනීම සහ අනතර් ක්‍රියාකාරීත්වය වර්ධනය කරගැනීමටත් අවස්තාව උදාවූ අතර, එමඟින් ඉදිරියේදී පොදු සමුද්‍රීය අභියෝග සාර්ථකව ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබෙනු ඇත.