‘BestWeb.lk 2022’ තරඟාවලියෙන් ශ්‍රී ලංකා නාවික හමුදා නිල වෙබ් අඩවිය රන් සහ ලෝකඩ පදක්කම් හිමි කරගනී

‘LK Domain Registry’ආයතනය මගින් පවත්වන ලද ‘BestWeb.lk 2022’ තරඟාවලියේදී රාජ්‍ය අංශයේ ජනප්‍රියතම වෙබ් අඩවි කාණ්ඩය යටතේ රන් පදක්කමක් සහ රාජ්‍ය අංශයේ හොඳම වෙබ් අඩවි කාණ්ඩය යටතේ ලෝකඩ පදක්කමක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ www.navy.lk නිල වෙබ් අඩවියට හැකි විය.

මෙම තරඟාවලිය සඳහා ඉදිරිපත් කර තිබූ වෙබ් අඩවි සඳහා සම්මාන හිමිගැන්වීම තාක්‍ෂණික නිර්ණායක, සැලසුම් නිර්ණායක, අන්තර්ගතය පිළිබඳ නිර්ණායක සහ අන්තර් ක්‍රියාකාරීත්වය පිළිබඳ නිර්ණායක මෙන්ම දඬුවම් ලකුණු ලබාදීම යන නිර්ණායක පදනම් කරගනිමින් පුළුල් පරාසයක සිදුකල ඇගයීමක් මඟින් සිදු කෙරිණි.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ www.navy.lk නිල වෙබ් අඩවියෙහි සම්පූර්ණත්වය, සංචලන පහසුව, ප්‍රමිතීන්, ක්‍රියාකාරීත්වය, වෙබ් අඩවියේ සහ වෙබ් පිටු වල නිර්මාණශීලී බව, වෙබ් අඩවියේ ප්‍රමාණාත්මක සහ ගුණාත්මකභාවය, වෙබ් අඩවියේ පරිශීලකයින් සමඟ ගුණාත්මක අන්තර් ක්‍රියාකාරීත්වය, පෞද්ගලිකත්වය සුරැකීම හා වෙබ් අඩවියේ ආරක්‍ෂාව සහ ප්‍රකාශන හිමිකම් සුරැකීම යන කරුණු පදනම් කරගනිමින් මෙලෙස ‘BestWeb.lk 2022’ තරඟාවලියේදී රන් සහ ලෝකඩ පදක්කම් දිනා ගන්නා ලදි.