නාවික පුද්ගලයින් අතර යෝගා අභ්‍යාස ප්‍රචලිත කිරිමේ ව්‍යාපෘතියක්

නාවික පුද්ගලයින් අතර යෝගා අභ්‍යාස ප්‍රචලිත කිරීමේ අරමුණින් දකුණු නාවික විධානයෙහි එක් එක් ආයතනයන්ගෙන් යෝගා අභ්‍යාස සිදු කිරීමට උනන්දුවක් දක්වන නාවිකයින් තෝරා ගනිමින් 2022 මාර්තු මස 01 වන දින ආරම්භ කරන ලද නේවාසික යෝගා පුහුණු වැඩසටහන අවසන් වූ අතර, මේ වන විට දකුණු නාවික විධානයට අයත් ආයතනයන් තුළ මෙම යෝගා අභ්‍යාස ප්‍රචලිත කිරිමේ ව්‍යාපෘතිය සාර්ථකව සිදු කෙරේ.

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ මඟපෙන්වීම යටතේ දකුණු නාවික විධාන ආඥාපතිගේ උපදෙස් මත ක්‍රියාත්මක කෙරෙන මෙම යෝගා පුහුණු වැඩසටහන් සඳහා දකුණු නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ රුහුණ, ශ්‍රීලංනානෞ දක්ෂිණ, ශ්‍රීලංනානෞ නිපුණ සහ ශ්‍රීලංනානෞ කාවන්තිස්ස යන ආයතනයන්ගේ නාවික පුද්ගලයන් විශාල පිරිසක් ස්වකැමැත්තෙන් සහභාගී වන අතර, සතියට එක් දිනක් උදෑසන ශාරීරික අභ්‍යාස වෙනුවට යෝගා අභ්‍යාස පැවැත්වීම සිදු කරනු ලබයි.

මෙම ව්‍යාපෘතිය මඟින් නාවික පුද්ගලයන්ගේ ශාරීරික සහ මානසික සුවතාවය ඉහළ නැංවීම තුළින් ඔවුන්ගේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට හැකියාව ලැබෙනු ඇත.