නාවික හමුදා බෝම්බ නිශ්ක්‍රීය සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සාර්ථකව අවසන් වේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මහව, බෝම්බ නිශ්ක්‍රිය පුහුණු පාසලේ පවත්වනු ලැබූ බෝම්බ නිශ්ක්‍රීය සුදුසුකම් ලැබීමේ පාඨමාලාවේ නිළ ලාංඡන පැළඳවීම සහ සහතිකපත් ප්‍රධානය අද (2022 අගෝස්තු 22) වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ඒ අනුව, 2022 ජනවාරි මස 20 වන දින සිට 2022 අගෝස්තු මස 22 වන දින දක්වා මහව බෝම්බ නිශ්ක්‍රිය පුහුණු පාසලේ පැවති 01/2022 බෝම්බ නිශ්ක්‍රීය සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සාර්ථකව නිමකළ නාවික පුද්ගලයින් 24 දෙනෙකු වෙත නිළ ලාංඡන පැළඳවීම හා සහතිකපත් ප්‍රධානය වයඹ නාවික විධානයේ ආඥාපති විසින් මෙලෙස සිදු කරන ලදී. එහිදී, ලුතිනන් එම්එම්වීඑම් බංඩාර පාඨමාලාවේ සෑම අතින්ම දක්‍ෂතම නිලධාරියා ලෙස සහ නායක නාවික පාබල බීඒඑම්එස් කුමාර සෑම අතින්ම දක්ෂතම නාවිකයා හා දක්ෂතම කෘතීම බෝම්බ නිර්මාණකරු ලෙස සම්මාන හිමිකර ගන්නා ලදී.

මෙම අවස්ථාව සඳහා ආඥාපති නාවික පාබල රියර් අද්මිරාල් ජලාජ් පොන්නම්පෙරුම, වයඹ නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු රාජප්‍රිය සේරසිංහ, වැඩ බලන අධ්‍යක්‍ෂ නාවික පුහුණු කපිතාන් බුද්ධික රූපසිංහ, ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරී (බෝම්බ නිශ්ක්‍රීය හා පරිපාලන) කොමාණ්ඩර් සාගර චන්ද්‍රසෝම ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ වයඹ නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් සහභාගී වී සිටියහ.