ශ්‍රී ලංකාවේ සමුද්‍රීය වපසරියේ දැනුවත්භාවය පිළිබඳ හැකියාවන් වර්ධනය කිරීමේ පුහුණු වැඩමුළුවක් කොළඹ ප්‍රදීපාගාර අවන්හලේදී ආරම්භ වේ

මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ආරක්‍ෂක පාලනය සඳහා වන ආයතනය (Institute for Security Governance - ISG) මඟින් මෙහෙයවනු ලබන ශ්‍රී ලංකාවේ සමුද්‍රීය වපසරියේ දැනුවත්භාවය පිළිබඳ හැකියාවන් වර්ධනය කිරීම සඳහා පුළුල් ප්‍රවිශ්ඨයක් ගොඩනැගීම අරමුණු කරගත් පස් දින වැඩමුළුවක් 2022 සැප්තැම්බර් 05 වන දින කොළඹ ප්‍රදීපාගාර අවන්හලේදී ආරම්භ කෙරිණි.

ශ්‍රී ලංකාවේ සමුද්‍රීය වපසරියට අදාලව සංවර්ධන, කළමණාකරන, මෙහෙයුම්, තොරතුරු එක්රැස් කිරීම, සංයෝජනය, විශ්ලේෂණය සහ අදාල පාර්ශව වෙත බෙදාහැරීම සම්බන්ධ වගකීමක් ඇති රාජ්‍ය හා ආරක්‍ෂක ආයතනයන්ට අයත් පුද්ගලයන්ගේ සමුද්‍රීය වපසරිය පිලිබඳ දැනුවත් වීමේ හැකියාවන් වර්ධනය කිරීම මෙම පුහුණු වැඩමුළුවෙන් අපේක්‍ෂා කෙරේ.

ඒ අනුව, මෙම පුහුණු වැඩමුළුව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, විදේශ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වෙළඳ නෞකා ලේකම් කාර්යාලය, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය යන ආරක්‍ෂක සහ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීන් විසිනව දෙනෙකු (29) සහභාගී වේ.

මෙම වැඩමුළුවෙහි සමාරම්භක අවස්ථාව සඳහා ඇමරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මෙහෙය ප්‍රධානී, ඩග්ලස් ඊ සොනෙක් (Douglas E Sonnek) මහතා, ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ශ්‍රී ලංකා නාවික හමුදා අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම් කොමදෝරු නිශාන්ත පිරිස්, ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, ලුතිනන් කර්නල් ඇන්තනී සී නෙල්සන් (Lieutenant Colonel Anthony C. Nelson) ඇතුළු මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නියෝජිතයන්, ආරක්‍ෂක පාලනය සඳහා වන ආයතනයේ (Institute for Security Governance) උපදේශකයින් සහ වැඩමුළුව සඳහා සහභාගී වන මෙරට ආරක්‍ෂක සහ රාජ්‍ය ආයතනයන්හී නිලධාරීන් පිරිසක් සහභාගීවී සිටියහ.