ශ්‍රී ලංකා නාවික හමුදාවේ 246 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 334 දෙනෙක් විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 246 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 334 ක් සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර 2022 සැප්තැම්බර් මස 06 වන දින බූස්ස, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යන ලදී.

මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස නාවික හමුදාධිපතිගේ නාවික සහායක, රියර් අද්මිරාල් සුජීව සෙනවිරත්න සහභාගී වූ අතර, මූලික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ ආධුනික නාවිකයින් වෙත කුසලාන ප්‍රදානය කිරීම ප්‍රධාන ආරාධිතයා විසින් සිදු කෙරිණි.

ඒ අනුව, 246 වන බඳවා ගැනීමේ දක්‍ෂතම ආධුනික නාවිකයාට හිමි කුසලානය ආධුනික නැවි ආර්පීඑන් මදුශංක හිමි කර ගන්නා ලද අතර, සියලුම විෂයන් සඳහා වැඩිම ලකුණු ලබාගත් නාවිකයාට හිමි කුසලානය ආධුනික නැවි ආර්ජිඑම්එම් රත්නායක විසින් හිමිකර ගන්නා ලදී. තවද, ආධුනික නැවි කේකේආර්ඩීඑස් විජේරත්න දක්‍ෂතම ඉලක්කකරුට හිමි කුසලානය හිමි කර ගත් අතර, දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය ආධුනික නැවි අයිසී මදුෂාන් විසින් හිමි කර ගන්නා ලදී. තවද, 246 ආධුනික බඳවා ගැනීමට අයත් දක්‍ෂතම ආධුනික අංශයට හිමි කුසලානය ‘සුරනිමිල’ අංශයට හිමිවිය.

මෙහිදී විසිර යන ආධුනික නාවිකයන් ඇමතූ නාවික හමුදාධිපතිගේ නාවික සහායක, රියර් අද්මිරාල් සුජීව සෙනවිරත්න එම ආධුනික නාවිකයන් වෙත සිය සුභාශිංෂණ පිරිනමන ලදි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, ශ්‍රී ලංකා නාවික හමුදාව රටේ ජාතික සංවර්ධනයට උරදෙමින් රට තුල සීඝ්‍රයෙන් පැතිර යන මත් උවදුර පිටු දැකීම සඳහා නාවික හමුදාවේ සම්පත් උපරිම කාර්යක්‍ෂමතාවයෙන් යුතුව යොදවමින් සුවිශේෂී කාර්යය භාරයක් සිදුකරන බවත්, විසිර යන නාවික පුද්ගලයන් විනයගරුක නාවික පුද්ගලයන් ලෙස මානව හිතවාදී සහ සංහිදියාව වැනි උදාර ගුණධර්ම සුරකිමින් ඉදිරියේදී නාවික හමුදාවේ කාර්ය හා කර්තව්‍ය ඉටුකිරීමට කැපවිය යුතු බවත් පවසන ලදි.

තවද, මෙම විසිරයෑමේ පෙළපාලිය විසිර ගිය ආධුනික නාවිකයන් සහභාගී වූ සරඹ සංදර්ශනයකින් සහ නාවික හමුදා තුර්යවාදක කණ්ඩායමේ හා සංස්කෘතික කණ්ඩායමේ විචිත්‍රවත් සංදර්ශනයකින් ද වර්ණවත් විය.

මෙම විසිරයෑමේ පෙළපාලිය සඳහා ගරුතර මහා සංඝරත්නය, දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් හරින්ද්‍ර ඒකනායක, නාවික හමුදා මූලස්ථානයේ සහ දකුණු නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ආඥාපති සහ අණදෙන නිලධාරී, කපිතාන් ජයනාත් ද සිල්වා ඇතුළු එම ආයතනයේ නිලධාරීන් හා නාවිකයින් සහ විසිර ගිය ආධුනික නාවිකයින්ගේ දෙමාපියන් සහභාගී වී සිටියහ.