හොඳම ශාරීරික යෝග්‍යතාවය සඳහා වූ පරීක්‍ෂණයේදී ජයග්‍රහණ හිමිකරගත් නාවික පුද්ගලයින් 19 ක් ඇගයීමට ලක් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශාරීරික යෝග්‍යතා ප්‍රතිපත්තියට අනුව 2022 අගෝස්තු මස පැවති හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි නාවික පුද්ගලයන් තේරීම සඳහා සිදුකළ පරීක්‍ෂණයේදී ජයග්‍රහණ හිමිකරගත් නාවික පුද්ගලයන් දහනව (19) දෙනෙකු ඇගයීම වෙනුවෙන් ඔවුන් වෙත ත්‍යාග හා සහතික පිරිනැමීම සහ ලාංඡන පැළඳවීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් අද (2022 සැප්තැම්බර් 07) නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

නාවික හමුදාවේ කාර්යය හා කර්තව්‍ය කාර්යක්‍ෂමව හා ඵලදායී ලෙස ඉටුකිරීම සඳහා නාවික පුද්ගලයින්ගේ ශාරීරික යෝග්‍යතාවය අපේක්‍ෂිත මට්ටමට පත්වාගැනීමේ අරමුණෙන්, වත්මන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ සංකල්පයකට අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශාරීරික යෝග්‍යතා ප්‍රතිපත්තිය පසුගිය 2021 වර්ෂයේදී හඳුන්වා දෙන ලදි. එම ප්‍රතිපත්තියට අනුව ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයින් හට තම ශාරීරික යෝග්‍යතාවය ප්‍රශස්ථ මට්මක පවත්වා ගැනීමට දිරිගැන්වීමක් ලෙස ත්‍යාග ප්‍රදානයක් හඳුන්වාදීම 2022 ජුලි මස 01 වන දින සිදුකරන ලද අතර, එමඟින් නිරෝගිමත්, කාර්යක්‍ෂම සහ මනා පෞරුෂයකින් හෙබි නාවික පුද්ගලයෙකු නිර්මාණය කර එමඟින් නාවික හමුදාවේ කාර්යක්‍ෂමතාවය ඉහළ නැංවීම අපේක්‍ෂා කරන ලදි.

ඒ අනුව, නාවික හමුදාවේ ශාරීරික යෝග්‍යතා ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවමින් නීරෝගීමත් මනා පෞරුෂකින් හෙබි නාවික පුද්ගලයෙකු නිර්මාණය කිරීම අරමුණු කර ගනිමින්, සියලුම අංශයන් නියෝජනය වන පරිදි 2022 අගෝස්තු මස 02 සහ 03 යන දිනයන්හිදී පවත්වන ලද විශේෂ ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයේදී වයස් කාණ්ඩයන් හතක් (07) ක් යටතේ විශේෂ දක්ෂතා දැක්වූ නාවික පුද්ගලයින් හට ත්‍යාග හා සහතිකපත් පිරිනැමීම සහ ලාංඡන පැළඳවීම මෙලෙස නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

හොඳම ශාරීරික යෝග්‍යතාවය සහිත නාවික පුද්ගලයන් තේරීම ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණ තුනක් (03) වයස් කාණ්ඩ 18-24, 25-29, 30-34, 35-39, 40 – 44, 45-49 සහ 50-54 යටතේ සිදුකෙරිණි. එහිදී ශාරීරික යෝග්‍යතා ඇගයීම් පරික්‍ෂණයට පෙණී සිටි (Physical Standard Evaluation Test – PSET) 18 - 24 වයස් කාණ්ඩය නියෝජනය කල සාමාන්‍ය නැවි (ශාරීරික අභ්‍යාසක) ඒජිඑස්ජී බණ්ඩාර සහ බල කාන්තා (ශාරීරික අභ්‍යාසක) ආර්එස්ඩීඅයි සේනාරත්න, 25 - 29 වයස් කාණ්ඩය නියෝජනය කල නායක නැවි (ශාරීරීක අභ්‍යාසක) එච්එන් ජයසිංහ, 35 - 39 වයස් කාණ්ඩය නියෝජනය කල සුළු නිලධාරි (ශාරීරික අභ්‍යාසක) ජීඑම්එස්කේ ගලගොඩපිටිය, 40 - 44 වයස් කාණ්ඩය නියෝජනය කල සුළු නිලධාරි (ශාරීරික අභ්‍යාසක) ඒජිඑන්එම් රත්නසිරි සහ කාන්තා ප්‍රධාන සුළු නිලධාරි (ශාරීරික අභ්‍යාසක) කේඒ සාරිකා යන නාවික පුද්ගලයින් එම පරික්‍ෂණයෙන් හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි නාවික පුද්ගලයන් ලෙස තේරී පත්විය.

ශාරීරික යෝග්‍යතා පරික්ෂණයට පෙණී සිටි (Physical Endurance Test – PET) 18 - 24 වයස් කාණ්ඩය නියෝජනය කල මධ්‍ය නිලධාරි පීඑම්කේඑච්එස් සෙනෙවිරත්න, 25-29 වයස් කාණ්ඩය නියෝජනය කල උප ලුතිනන් ඒජිආර්එච්එන් අතපත්තු, 30 - 34 වයස් කාණ්ඩය නියෝජනය කල නානැවි(ස්වේ) බීආර්ටීඑම් සුමනසිරි, 35 - 39 වයස් කාණ්ඩය නියෝජනය කල සමූහ ප්‍රධාන සුළු නිලධාරි (ස්වේ) කේඒ කුමාර, 40 – 44 වයස් කාණ්ඩය නියෝජනය කල සුළු නිලධාරි (ස්වේ) ජේඑච්එම්සීබී ජයසුන්දර, 45 - 49 වයස් කාණ්ඩය නියෝජනය කල පාලක ප්‍රධාන සුළු නිලධාරි (ස්වේ) ඩීඩීඑච් බණ්ඩාර, 50 - 54 වයස් කාණ්ඩය නියෝජනය කල කොමදෝරු(විදුලි) ජේයූ ගුණසීල යන නාවික පුද්ගලයින් එම පරික්‍ෂණයෙන් හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි නාවික පුද්ගලයන් ලෙස තේරී පත්විය.

අධි තීව්‍රතා ශාරීරික යෝග්‍යතා පරික්ෂණයට පෙණී සිටි (High Intensity Physical Endurance Test – HIPET) 18 - 24 වයස් කාණ්ඩය නියෝජනය කල බල නැවි(වියාබ) එන්පී වික්‍රමසිංහ, 25 - 29 වයස් කාණ්ඩය නියෝජනය කල බල නැවි(වියාබ) අයිඩීකේ මදුසංක, 30 - 34 වයස් කාණ්ඩය නියෝජනය කල නායක නැවි(මැරීන්) ජීසි අමරසිංහ, 35 – 39 වයස් කාණ්ඩය නියෝජනය කල ප්‍රධාන සුළු නිලධාරි(වියාබ) ඩබ්එම්එස්ඒ බණ්ඩාර, 40 - 44 වයස් කාණ්ඩය නියෝජනය කල ප්‍රධාන සුළු නිලධාරී(කිමිදුම්) එම්එම්සීඒ මනතුංග, 45-49 වයස් කාණ්ඩය නියෝජනය කල කොමාණ්ඩර් (කිමිදුම්) එච්බීඑන්එච් බාලසූරිය යන නාවික පුද්ගලයින් එම පරික්‍ෂණයෙන් හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි නාවික පුද්ගලයන් ලෙස තේරී පත්විය.

ඒ අනුව, පරීක්‍ෂණ තුනක් යටතේ මෙලෙස තේරී පත්වූ හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි නාවික පුද්ගලයන් වෙත රුපියල් 75,000.00 සිට රුපියල් 100,000.00 දක්වා පරාසයක වටිනා මුදල් ත්‍යාග හා සහතිකයක් පිරිනැමීමත්, නිළ ඇඳුමේ හොඳම ශාරීරික යෝග්‍යතාවයට හිමි ලාංඡන පැළඳවීමත් අද (2022 සැප්තැම්බර් 07) සිදුකෙරිණි.

තවද, සෑම වර්ෂයකම ජුලි මාසය තුල පැවැත්වෙන මෙම දක්‍ෂතම ශාරීරික යෝග්‍යතා පිරිනැමීම වෙනුවෙන් සිදුකෙරෙන පරීක්‍ෂණය සඳහා නාවික පුද්ගලයන් සහභාගීවීම තුලින්, වාර්ෂිකව ජයග්‍රාහකයින් තේරී පත්වීම පමණක් නොව, දිගුකාලීනව ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්යය හා කර්තව්‍ය කාර්යක්‍ෂමව සහ ඵලදායි ලෙස ඉටුකිරීම සඳහා අවශ්‍ය ඉහළ ශාරීරික හා මානසික යෝග්‍යතාවයකින් යුත් ජව සම්පන්න නාවික පුද්ගලයන් පිරිසක් බිහිවීමට මහත් පිටුවහලක් ගෙන දෙනු ඇත.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, ආඥාපති බටහිර නාවික පෙදෙස ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ බටහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් සහභාගීවී සිටියහ.