නාවික හමුදා දායකත්වයෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2022 සැප්තැම්බර් මස 10 වන දින වත්තල ප්‍රීතිපුර සහ උස්වැටකෙයියාව වෙරළ තීරයන් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ‍ගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ සමුද්‍රීය පරිසරය මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිතව පවත්වා ගැනීම සඳහා ප්ලාස්ටික් සහ පොලිතීන් ඇතුළු ඝණ අපද්‍රව්‍ය සාගරයට එකතුවීම වැළැක්වීමට නාවික හමුදාව විසින් වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන් සඳහා නිරන්තර දායකත්වය ලබාදෙනු ලබයි.

ඒ අනුව, බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාරගේ අධීක්‍ෂණය යටතේ ශ්‍රි ලංකා නාවික නෞකා කැළණි ආයතනයේ මූලිකත්වයෙන් සංවිධානය කරන ලද මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන මඟින්, වත්තල ප්‍රීතිපුර සහ උස්වැටකෙයියාව වෙරළ තීරයන්හී විසිරී තිබූ ප්ලාස්ටික් සහ පොලිතීන් ඇතුළු ඝණ අපද්‍රව්‍ය රැසක් වෙරළ තීරයෙන් ඉවත් කිරීමට කටයුතු කෙරිණි.

තවද, මෙම වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන සඳහා බටහිර නාවික විධානයේ නාවික පුද්ගලයන් මෙන්ම, සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය, වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමණාකරන දෙපාර්තමේන්තුව සහ වත්තල ප්‍රාදේශීය සභාව නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක්ද සහභාගි වී සිටියහ.