නාවික හමුදා දායකත්වයෙන් ඇස් කණ්නාඩි බෙදාදීමේ වැඩසටහනක් පුල්මුඩේ රෝහලේදී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් සිදුකල තවත් සමාජ සත්කාරයක් ලෙස, ඇස් පෙනීමේ දුර්වලතා සහිත පුද්ගලයින් 125 දෙනෙකු වෙත නොමිලේ ඇස් කණ්නාඩි ප්‍රදානය කිරීමේ වැඩසටහනක් 2022 සැප්තැම්බර් මස 10 වන දින පුල්මුඩේ මුලික රෝහලේදී පැවැත්විණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් මත සිදුකරන ලද මෙම සමාජ සත්කාරක වැඩසටහන, නැ‍ගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න ගේ අධීක්‍ෂණය යටතේ පෞද්ගලික ආයතනයක අනුග්‍රාහකත්වයෙන් පවත්වන ලදි. ඒ අනුව, ‍නැගෙනහිර නාවික විධාන වෛද්‍ය කාර්ය මණ්ඩලය, ශ්‍රී ලංකා නාවික නෞකා රන්වැලි ආයතනය සහ පුල්මුඩේ මූලික රෝහලේ කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් සිදුකරන ලද මෙම ඇස් කණ්නාඩි ප්‍රදානය කිරීමේ වැඩසටහන මඟින් පුල්මුඩේ ප්‍රදේශයේ ජීවත් වන ඇස් පෙනීම දුර්වල පුද්ගලයින් 125 දෙනෙකු හට ඇස් කණ්නාඩි බෙදා දීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, මීට සමගාමීව නැගෙනහිර නාවික විධාන රෝහල් කාර්ය මණ්ඩලය විසින් පුල්මුඩේ මූලික රෝහලේ දායකත්වයද ඇතිව සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගෙන යාමේ වැදගත්කම පිළිබඳ මෙම ඇස් කණ්නාඩි ලබාගැනීමේ අවස්ථාව සඳහා සහභාගීවූ පිරිස දැනුවත් කිරීමේ සහ මුලික රෝග හඳුනා ගැනීමේ සායනයක්ද ක්‍රියාත්මක කරන ලදි.

තවද, මහජනතාව වෙනුවෙන් සිදුකරනු ලබන මෙවැනි සමාජ සත්කාරක වැඩසටහන් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ඉදිරියටත් දායකත්වය ලබාදෙනු ලබයි.