ආසියානු දැල්පන්දු ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ නාවික හමුදා ක්‍රීඩිකාවන් හට නාවික හමුදාධිපති ගෙන් උසස්වීම්

2022 ආසියානු දැල්පන්දු ශූරතාවය දිනාගත් ජයග්‍රාහී ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩා‍යම නියෝජනය කළ නායක කාන්තා නැවි දීපිකා අබේකෝන් (ඩබ්ලිව්වීඑස් 66974) සහ බල කාන්තා නැවි හසිතා මෙන්ඩිස් (ඩබ්ලිව්වී 76519) යන නාවික හමුදා ක්‍රීඩිකාවන් දෙදෙනා (02), ශ්‍රී ලංකා නාවික හමුදාවේ කීර්තිය ඉහළ නංවමින් මව්බිමට මහත් අභිමානයක් ගෙනදීමට සිදුකළ සුවිශේෂී දායකත්වය අගයමින්, නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ඔවුන් ඊළඟ තරාතිරම දක්වා උසස් කිරීම සහ ඔවුන් වෙත රුපියල් 250,000.00 බැගින් වටිනා මුදල් ත්‍යාග පිරිනැමීම අද (2022 සැප්තැම්බර් 15) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

ආසියානු රටවල් 11 ක සහභාගීත්වයෙන් සිංගප්පූරුවේදී පැවති 12 වන ආසියානු දැල්පන්දු ශූරතාවලියේ අවසන් මහා තරඟයෙන් සත්කාරක සිංගප්පූරුව ලකුණු 63-53 ක් ලෙස පරාජය කරමින් ආසියානු දැල්පන්දු ශූරතා කුසලානය අපරාජිතව දිනාගැනීමට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම පසුගිය 2022 සැප්තැම්බර් මස 11 දින සමත්විය.

එම ජයග්‍රාහී ශ්‍රීලංකා දැල්පන්දු කණ්ඩායම නියෝජනය කළ මෙම නාවික හමුදා ක්‍රීඩිකාවන් දෙදෙනා (02) දිවයිනට පැමිණීමෙන් අනතුරුව, අද (2022 සැප්තැම්බර් 15) නාවික හමුදා මූලස්ථාන‍යේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය. එහිදී, ආසියානු දැල්පන්දු ශූරතාවය මව්බිමට ගෙන ඒමට සිදුකළ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් ඔවුන් වෙත සුභපැතු නාවික හමුදාධිපති, නාවික හමුදාවේ කීර්තිනාමය ඉහළ නංවමින් මව්බිමට මහත් අභිමානයක් ගෙන දීමට සිදුකළ එම සුවිශේෂී දායකත්වය අගයමින් ඔවුන් තවදුරටත් දිරිගැන්වීම උදෙසා එම ක්‍රීඩිකාවන් වෙත මෙලෙස රුපියල් 250,000.00 බැගින් මුදල් ත්‍යාග පිරිනැමීම සහ ඊළඟ තරාතිරම දක්වා උසස් කිරීම සිදුකරන ලදි.

ඒ අනුව, නායක කාන්තා නැවි දීපිකා අබේකෝන් කාන්තා සුළු නිලධාරී තරාතිරම දක්වාද, බල කාන්තා නැවි හසිතා මෙන්ඩිස් නායක කාන්තා නැවි තරාතිරම දක්වාද අද (2022 සැප්තැම්බර් 15) සිට උසස් කිරීම සිදු කෙරිණි.

එමෙන්ම, ශ්‍රී ලංකාව නියෝජනය කර විවිධ ක්‍රීඩා ඉසව්වන්ගෙන් ජාත්‍යන්තර ජයග්‍රහණ හිමිකර ගනිමින් නාවික හමුදාවට මෙන්ම මව්බිමට කීර්තියක් ගෙනදුන් නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්‍ගේ ක්‍රීඩා කුසලතා තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින්, මීට පෙර අවස්ථාවන්හීදීද නාවික හමුදාව විසින් මෙවැනි දිරිගැන්වීම් සිදුකර ඇති අතර, එවැනි දිරිගැන්වීම් නාවික හමුදා ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ ඉදිරි අභිවෘදිය උදෙසා පමණක් නොව මෙරට ක්‍රීඩාවේ අභිවෘදිය උදෙසාද සිදුකෙරෙන සුවිශාල ආයෝජනයක් වනු ඇත.

තවද, වත්මන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරමින්, නාවික හමුදා ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා යටිතල පහසුකම් පුළුල් කිරීම, නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් විශේෂඥ පුහුණු අවස්ථා ලබාදීම සහ සුභසාධන පහසුකම් වර්ධනය කිරීම වෙනුවෙන් සිදුකරනු ලබන සුවිශේෂී කාර්යභාරය, එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ජාතික හා ජාත්‍යන්තර තලයේ ජයග්‍රහණ රැසක් මව්බිමට ගෙන දීමට මහඟු පිටුවහලක් ගෙනදී ඇත.