ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනය හා සමුද්‍රීය සම්පත් සුරැකීමේ සතියට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් වෙරළ පවිත්‍රතා වැඩසටහනක් ක්‍රියාවට නංවයි

සැප්තැම්බර් මස 17 වන දිනට යෙදී තිබෙන ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනයට හා සමුද්‍රීය සම්පත් සුරැකීමේ සතියට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් සියළුම නාවික විධානයන් ආවරණය වන පරිදි වෙරළ පවිත්‍රතා වැඩසටහන් අද (2022 සැප්තැම්බර් 17) උදෑසන ක්‍රියාවට නංවන ලදි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ‍ගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ, සුරක්ෂිත සමුද්‍රීය පරිසර පද්ධතියක් මතු පරපුර වෙත දායාද කරදීමේ අරමුණින්, ප්ලාස්ටික් සහ පොලිතීන් ඇතුළු ඝණ අපද්‍රව්‍ය හේතුවෙන් සමුද්‍රීය පරිසරයට සිදුවන හානිය වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් වෙරළ පවිත්‍රතා වැඩසටහන් සඳහා නිරන්තර දායකත්වය ලබාදෙනු ලබයි.

ඒ අනුව, බටහිර නාවික විධානය මඟින් ගාලු මුවදොර හා කාක දූපත වෙරළ තීරයන්ද, නැගෙනහිර නාවික විධානය මඟින් ත්‍රීකුණාමලය බැක්බේ වෙරළ තීරයද, උතුරු මැද නාවික විධානය මඟින් ඌරුමලේ වෙරළ තීරයද, වයඹ නාවික විධානය මඟින් කල්ලාරු, ආනවාසල, ග‍ඟේවාඩිය හා කරුකපනේ වෙරළ තීරයන්ද, ගිනිකොණ නාවික විධානය මඟින් ආරුගම්බේ වෙරළ තීරයද, උතුරු නාවික විධානය මඟින් මාදගල්, පුංගුඩුතිව් හා ඩෙල්ෆ්ට් වෙරළ තීරයන් සහ දකුණු නාවික විධානය මඟින් රැකව වෙරළ තීරයද කේන්ද්‍ර කර ගනිමින් අද (2022 සැප්තැම්බර් 17) උදෑසන මෙම වෙරළ පවිත්‍රතා වැඩසටහන් නාවික හමුදාව විසින් ක්‍රියාවට නංවන ලදි. එහිදී, එම වෙරළ තීරයන්හි විසිරී තිබූ ප්ලාස්ටික් සහ පොලිතීන් ඇතුළු ඝණ අපද්‍රව්‍ය රැසක් එක්රැස් කර වෙරළ තීරයන්ගෙන් ඉවත් කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

තවද, ගාලු මුවදොර පැවති වෙරළ පවිත්‍රතා වැඩසටහන නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ අධීක්ෂණය යටතේ සිදුකෙ‍රුණු අතර, සෑම නාවික විධානයක්ම ආවරණය වන පරිදි අද දින සිදුකෙරුණු මෙම වෙරළ පවිත්‍රතා වැඩසටහන් සාර්ථකව ක්‍රියාවට නැංවීම සඳහා නාවික හමුදා මූලස්ථානය ඇතුළු සියළුම නාවික විධානයන් නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් සහභාගී වී සිටියහ.