බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණගේ අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගෞරවනීය උත්තමාචාරය

බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණගේ 70 වසරක රාජ්‍ය සමය තුල ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රමික වර්ධනය සඳහා බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවෙන් ලද දායකත්වය සහ දිගුකාලීන සහයෝගීත්වය පිළිබඳ ඉතිහාසය, 2022 සැප්තැම්බර් මස 08 වන දින අභාවප්‍රාප්ත වූ දෙවන එලිසබෙත් මහ රැජිණ වෙත පිරිනමන උපහාරයක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව ගෞරවයෙන් සිහිපත් කරනු ලබයි.

බ්‍රිතාන්‍යයේ රාජ්‍යත්වයට පත්වීමෙන් අනතුරුව දෙවන එලිසබෙත් මහ රැජිණ 1954 වර්ෂයේ 'එස්එස් ගොතික්' නෞකාවෙන් (‘SS Gothic’) ඇගේ ස්වාමියා වූ දෙවන ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ මධ්‍යධරණි නෞකා සමූහයට (Mediterranean Fleet) අනුයුක්තව සිටියදී මෙරටද සේවය කර ඇති, බ්‍රිතාන්‍යයේ එඩින්බර්ග් හි ආදිපාද ෆිලිප් කුමරු සමඟ දිවයිනට පැමිණ ඇති අතර, එහිදී එවකට කොළඹ වරායේ පිහිටි ජැටියක් එලිසබෙත් රැජිණ ජැටිය (Queen Elizabeth Quay) ලෙස නම් කිරීමේ අවස්ථාව සඳහා සහභාගීවී ඇත.

එහිදී, රාජකීය යුවල රැගත් 'එස්එස් ගොතික්' නෞකාව කොළඹ වරායට සේන්දු වන අවස්ථාවේ එවකට රාජකීය ලංකා නාවික හමුදාවේ ‘විජය’ නෞකාව මඟින් ආරක්‍ෂාව ලබාදී ඇති අතර, රාජකීය ලංකා නාවික හමුදාව විසින් සම්මාන මුරයක් මඟින් රාජකීය උත්තමාචාරය පුදකර මහ රැජිණ මෙරටට පිළිගැනීම සිදුකර ඇත. පසුව, රාජකීය යුවල ‘විජය’ නෞකාවේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වී ඇති අතර, එදින ෆිලිප් කුමරු වෙනුවෙන් නාවික හමුදා මූලස්ථානයේ නිලධාරී නිවාසයේ විශේෂ භෝජන සංග්‍රහයක් ද සංවිධානය කර ඇත. තවද, 1955 වර්ෂයේදී ද ෆිලිප් කුමරු ‘බ්‍රිටෑනියා’ (HMY ‘Britannia’) නෞකාවෙන් දිවයිනට පැමිණි අවස්ථාවේදී ද රාජකීය ලංකා නාවික හමුදාව මඟින් ඔහු වෙනුවෙන් නාවික හමුදා මූලස්ථානයේ නිලධාරී නිවාසයේදී භෝජන සංග්‍රහයක් පවත්වා ඇත.

1950 දෙසැම්බර් මස 09 වන දින රාජකීය ලංකා නාවික හමුදාව ස්ථාපිත කිරීමත් සමඟ, රාජකීය ලංකා නාවික හමුදා නෞකාවන්ගේ නාමයන්ට ඉදිරියෙන් ‘මහා රැජිණගේ ලංකා නෞකා’ ලෙස (Her Majesty’s Ceylon Ship- HMCyS) භාවිතා කර ඇති අතර, 1972 වර්ෂයේ ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමෙන් අනතුරුව එම භාවිතය ‘ශ්‍රී ලංකා නාවික නෞකා’ (Sri Lanka Naval Ship – SLNS) ලෙස වෙනස් කර ඇත.

බ්‍රිතාන්‍ය මහ රැජිණ දෙවන වරට 1981 වර්ෂයේදී ලංකාවට පැමිණ ඇත්තේ, මෙරටට සර්වජන ඡන්ද බලය ලැබී වසර 50 ක් සපිරීම නිමිත්තෙන් සහ වික්ටෝරියා වේල්ලෙහි ඉදිකිරීම් කටයුතු නිරික්‍ෂණය කිරීම සඳහායි. 1954 වර්ෂයේ ඇය ප්‍රථමයෙන් මෙරටට පැමිණි අවස්ථාවේදී සේම මෙහිදී ද සම්මාන මුරයක් මඟින් රාජකීය උත්තමාචාරය පුදකිරීම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකර ඇත.

තවද, බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණගේ පියා, ස්වාමියා සහ දරුවන් දෙදෙනෙකුද රාජකීය නාවික හමුදාවේ සේවය කර ඇති බැවින්, දියණියක් බිරිඳක් සහ මවක් ලෙස ඇයට නාවික හමුදාව වෙත සුවිශේෂී බැඳීමක් ඇති බව, බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ ධජ නෞකාව ‘එච්එම්එස් ක්වීන් එලිසබෙත්’ ලෙස (HMS Queen Elizabeth) අධිකාරියට පත්කිරීමේ උත්සවයේදී අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කර ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව පැමිණි අභිමානවත් දීර්ඝ ඉතිහාසය‍ දෙස ආපසු හැරී බැලීමේදී, මෙරට නාවික හමුදාවක ආරම්භය සනිටුහන් කර, ක්‍රමිකව ශක්තිමත් නාවික හමුදාවක් බවට පසු කාලීනව පරිවර්තනයවීම සඳහා, බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණගේ 70 වසරක පාලන සමය තුල බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවෙන් ලද දායකත්වය සහ දිගුකාලීන සහයෝගීත්වය පිලිබඳ ඉතිහාසය, ශ්‍රී ලංකා නාවික හමුදාව මහත් ගෞරවයෙන් සිහිපත් කරනුයේ, අභාවප්‍රාප්ත වූ බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණට උපහාරයක් ලෙසයි.

1954 වර්ෂයේ දිවයිනට පැමිණි දෙවන එලිසබෙත් මහ රැජිණ වෙත කොළඹ වරායේදී සම්මාන මුරයක් මඟින් රාජකීය උත්තමාචාරය පිරිනැමීම

දෙවන එලිසබෙත් මහ රැජිණ සහ ෆිලිප් කුමරු නිරීක්‍ෂණ සංචාරයක් සඳහා විජය නෞකාව වෙත පිවිසීම

දෙවන එලිසබෙත් මහ රැජිණ, ෆිලිප් කුමරු සහ කොමාණ්ඩර් ජීආර්එම් ද මෙල් විජය නෞකාව මත

දෙවන එලිසබෙත් මහ රැජිණ සහ ෆිලිප් කුමරු විජය නෞකාවේ නිරීක්‍ෂණ සංචාරයෙන් පසු නෞකාවෙන් නික්ම යාම

1955 වර්ෂයේ නාවික හමුදා මූලස්ථානයේ නිලධාරී නිවාසය වෙත පැමිණි ෆිලිප් කුමරු සමඟ ගරු එස්ඩබ්ලිව්ආර්ඩී බණ්ඩාරනායක මහතා සහ නාවික හමුදාධිපති කොමදෝරු ජීආර්එම් ද මෙල් සාකච්ඡාවක නිරත වෙමින්

විජය නෞකාවේ පළමු නිලධාරී කණ්ඩායම (ලුතිනන් ආර් කදිරගාමර් (අණදෙන නිලධාරී), ලුතිනන් ඊ සන්මුගරත්නම්, ලුතිනන් ඩීවී හන්ටර්, ලුතිනන් ඒ කල්දේරා, ලුතිනන් ආර් ප්‍රොක්ටර් සහ උප ලුතිනන් ඊ වයිට්)

1981 වර්ෂයේ ඔක්තෝබර් මස, බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් දිවයිනට පැමිණි අවස්ථාවේ, ඇය වෙනුවෙන් රාජකීය උත්තමාචාරය පිරිනමන ලද සම්මාන මුරය පරීක්‍ෂා කිරීම සඳහා ඇය කැටුව යාමට සම්මාන මුරය භාර නිලධාරී ලුතිනන් කොමාණ්ඩර් ඩීකේ දසනායක සූදානමින්

සම්මාන මුරය භාර නිලධාරී ලුතිනන් කොමාණ්ඩර් ඩීකේ දසනායක සහ නාවික හමුදාධිපති රියර් අද්මිරාල් ඒඩබ්එච් පෙරේරා විසින් දෙවන එලිසබෙත් මහ රැජිණ සම්මාන මුරය පරීක්‍ෂා කිරීම සඳහා කැටුව යාම

දෙවන එලිසබෙත් මහ රැජිණ විසින් සම්මාන මුරය පරීක්‍ෂා කිරීම

දෙවන එලිසබෙත් මහ රැජිණ විසින් සම්මාන මුරය පරීක්‍ෂා කිරීම

දෙවන එලිසබෙත් මහ රැජිණ වෙත සම්මාන මුරයක් මඟින් රාජකීය උත්තමාචාරය පිරිනැමීම විශිෂ්ඨ ලෙස සිදුකිරීම සම්බන්ධයෙන්, අතිගරු ජනාධිපති ජේආර් ජයවර්ධන මහතා විසින් නාවික හමුදාධිපති වෙත පිරිනමන ලද ඇගයීමේ ලිපිය