ජාතික ආරක්‍ෂක පාඨමාලාවට අදාළ නිල ලාංඡනය නාවික හමුදාධිපති වෙත පිරිනමයි

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක විද්‍යායතනය මඟින්, ජාතික ආරක්‍ෂක පාඨමාලාව සම්පූර්ණ කළ ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් වෙනුවෙන් ප්‍රථම වරට නිර්මාණය කරන ලද නිල ලාංඡනය එම විද්‍යායතනයේ ආඥාපති, මේජර් ජෙනරල්(විශ්‍රාමික) අමල් කරුණාසේකර විසින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත පිරිනැමීම 2022 සැප්තැම්බර් මස 16 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක විද්‍යායතනය මඟින් ප්‍රථම වරට නිර්මාණය කරන ලද මෙම නිළ ලාංඡනය, මෙරට ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ ප්‍රථම ජාතික ආරක්‍ෂක පාඨමාලාව සම්පූර්ණ කළ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් තිස් එක් දෙනෙකු (31) වෙත පිරිනැමීම, 2022 සැප්තැම්බර් මස 14 වන දින එම විද්‍යායතනයේ උපාධී ප්‍රදාන උත්සවයේදී සිදුකෙරිණි. ඒ අනුව, ජාතික ආරක්‍ෂක විද්‍යායතනය මඟින් නිර්මාණය කරන ලද මෙම නිළ ලාංඡනය, ජාතික ආරක්‍ෂක පාඨමාලාව මීට පෙර විදේශයන්හීදී සම්පූර්ණ කල නිලධාරීන් හටද, සිය නිළ ඇඳුමේ පැළඳීමේ අවස්ථාව හිමිවේ.

තවද, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් 2016 වර්ෂයේදී ජාතික ආරක්‍ෂක පාඨමාලාව ඉන්දියාවේ ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේදී සාර්ථකව හදාරා ඇති අතර, ඒ අනුව ඊට අදාල නිළ ලාංඡනය නාවික හමුදාධිපති වෙත පිරිනැමීම මෙලෙස ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ ආඥාපති විසින් නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.