කිතුල්කොටේ ඓතිහාසික ස්වර්ණපිණ්ඩ චෛත්‍යය රාජයාණන් වහන්සේගේ සර්වඥ ධාතු තැන්පත් කිරීම සහ කොත නිරාවරණය කිරීමේ පුණ්‍යමහෝත්සවය නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා නාවික හමුදා බෞද්ධ සංගමයේ දායකත්වයෙන්, තණමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ පිහිටි ඓතිහාසික ස්වර්ණපිණ්ඩ චෛත්‍යරාජයාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් තැන්පත් කිරීම සහ කොත නිරාවරණය කර සැදැහැවත් බොදු බැතිමතුන්ගේ වන්දනාමානය පිණිස සසුනට පූජා කිරීමේ පුන්‍යමහෝත්සවය, ‍‍ ගරුතර මහා සංඝ රත්නයේ පිරිත් සජ්ජායනා මධ්‍යයේ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2022 සැප්තැම්බර් මස 18 වන දින උදෑසන තණමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථාන පරිශ්‍රයේදී සිදු කෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් හා මඟපෙන්වීම මත, ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණයෙන් හා නාවික හමුදා පූර්ණ ශ්‍රමදායකත්වයෙන්, තණමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි ඓතිහාසික ස්වර්ණපිණ්ඩ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු 2021 වර්ෂයේ අගෝස්තු මස 05 වන දින ආරම්භ කෙරිණි. ඒ අනුව, එම ප්‍රතිසංස්කරණ කටයුතු උසස් අන්දමින් නිමකර එම චෛත්‍ය රාජයාණන් වහන්සේගේ සර්වඥ ධාතු තැන්පත් කිරීම සහ කොත නිරාවරණය කර සැදැහැවත් බොදු බැතිමතුන්ගේ වන්දනාමානය පිණිස සසුනට පූජා කිරීමේ පුණ්‍යමහෝත්සවය මෙලෙස 2022 සැප්තැම්බර් මස 18 වන දින බැති සිතින් සිදු කෙරිණි.

නාවික හමුදා බෞද්ධ සංගමයේ දායකත්වයෙන් සිදුකෙරුණු මෙම පුණ්‍යමහෝත්සවය නිමිත්තෙන් තෙදිනක් පුරා බෝධි පූජා සහ සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනාවන් සිදුකෙරිණි. 2022 සැප්තැම්බර් මස 17 වන දින නාවික හමුදාධිපති සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපති තුමිය, කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති, පූජ්‍ය වලස්මුල්ලේ ගුණරතන හිමි බැහැදැක ආශීර්වාද ලබා ගන්නා ලද අතර, බෞද්ධ ආගමික වත් පිළිවෙත් සිදුකිරීමෙන් අනතුරුව, එදින පැවති සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනය සඳහා බැති සිතින් සහභාගී විය.

2022 සැප්තැම්බර් මස 18 වන දින උදෑසන ඓතිහාසික ස්වර්ණපිණ්ඩ චෛත්‍යය රාජයාණන් වහන්සේගේ සර්වඥ ධාතු තැන්පත් කර කොත්වහන්සේ නිරවාණය කිරීම, සහ කප්රුක් පූජාව සිදුකිරීම නාවික හමුදාධිපතිගේ සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපති තුමියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු අතර, ගරුතර මහා සංඝ රත්නය පනස් හතර නමක් (54) උදෙසා දහවල් දානය පිළිගැන්වීමෙන් අනතුරුව මෙම පුන්‍යමහෝත්සවය නිමාවට පත්විය.

තවද, ඓතිහාසික කිතුල්කොටේ ආරණ්‍ය සේනාසනය ලෙස ද සැදැහැවත් බෞද්ධයන් අතර ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන මෙම රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ, වාර්ෂික වස් ආරාධනා කිරීමේ සහ කඨින චීවර පූජා කිරීමේ පුණ්‍යකර්මය වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකා නාවික හමුදා බෞද්ධ සංගමයේ පූර්ණ දායකත්වයෙන් සිදුකරනු ලබයි.

මෙම ඓතිහාසික අවස්ථාව සඳහා ගරුතර මහා සංඝ රත්නය වැඩමවා වදාළ අතර, ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු හා ශ්‍රී ලංකා නාවික හමුදා බෞද්ධ සංගමයේ සභාපති රියර් අද්මිරාල් රවී රණසිංහ ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් හරින්ද්‍ර ඒකනායක, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන්, දකුණු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු මහේෂ් ද සිල්වා ඇතුළු එම විධානයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම ප්‍රදේශයේ සැදැහැවත් බැතිමතුන් ද සහභාගී වී සිටියහ.