නාවික හමුදා නිල වෙබ් අඩවිය රන් හා ලෝකඩ පදක්කමෙන් සම්මානයට පාත්‍ර වෙයි

‘LK Domain Registry’ආයතනය මගින් පවත්වන ලද ‘BestWeb.lk 2022’ තරඟාවලියේදී රාජ්‍ය අංශයේ ජනප්‍රියතම වෙබ් අඩවි කාණ්ඩය යටතේ රන් පදක්කමක් සහ රාජ්‍ය අංශයේ හොඳම වෙබ් අඩවි කාණ්ඩය යටතේ ලෝකඩ පදක්කමක් හිමිකර ගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ www.navy.lk නිල වෙබ් අඩවිය සම්මානයට පාත්‍ර වූ අතර, ඒ වෙනුවෙන් නාවික හමුදාව වෙත ප්‍රදානය කරන ලද සම්මාන, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත පිරිනැමීම 2022 සැප්තැම්බර් මස 20 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

මෙම ‘BestWeb.lk 2022’ තරඟාවලිය සඳහා ඉදිරිපත් කර තිබූ වෙබ් අඩවි සඳහා සම්මාන ලබාදීම සඳහා තාක්‍ෂණික නිර්ණායක, සැලසුම් නිර්ණායක, අන්තර්ගතය පිළිබඳ නිර්ණායක සහ අන්තර් ක්‍රියාකාරීත්වය පිළිබඳ නිර්ණායක මෙන්ම දඬුවම් ලකුණු ලබාදීම යන නිර්ණායක පදනම් කරගනිමින් පුළුල් පරාසයක ඇගයීමක් සිදුකර ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ www.navy.lk නිල වෙබ් අඩවියෙහි සම්පූර්ණත්වය, සංචලන පහසුව, ප්‍රමිතීන්, ක්‍රියාකාරීත්වය, වෙබ් අඩවියේ සහ වෙබ් පිටු වල නිර්මාණශීලී බව, වෙබ් අඩවියේ ප්‍රමාණාත්මක සහ ගුණාත්මකභාවය, වෙබ් අඩවියේ පරිශීලකයින් සමඟ ගුණාත්මක අන්තර් ක්‍රියාකාරීත්වය, පෞද්ගලිකත්වය සුරැකීම හා වෙබ් අඩවියේ ආරක්‍ෂාව සහ ප්‍රකාශන හිමිකම් සුරැකීම යන කරුණු පදනම් කරගනිමින් ‘BestWeb.lk 2022’ තරඟාවලියේදී රාජ්‍ය අංශයේ ජනප්‍රියතම වෙබ් අඩවි කාණ්ඩය යටතේ රන් පදක්කමක් සහ රාජ්‍ය අංශයේ හොඳම වෙබ් අඩවි කාණ්ඩය යටතේ ලෝකඩ පදක්කමක් නාවික හමුදා නිල වෙබ් අඩවිය විසින් හිමිකර ගන්නා ලදි. පසුගිය 2022 අගෝස්තු මස 30 වන දින පැවති මෙම තරඟාවලියේ සම්මාන ප්‍රදාන උත්සවයේදී නාවික හමුදාවට ප්‍රදානය කරන ලද රන් හා ලෝකඩ සම්මාන, නාවික හමුදාධිපති වෙත පිරිනැමීම 2022 සැප්තැම්බර් මස 20 වන දින නාවික හමුදා මූලස්ථානයේදී මෙලෙස සිදු කෙරිණි.

එමෙන්ම, 2015, 2017, 2018 සහ 2019 වර්ෂයන්හිදී පැවැත්වූ ‘Best Web’ තරඟාවලීන්හිදී ද රාජ්‍ය අංශයේ හොඳම වෙබ් අඩවිය ලෙස සහ 2021 වර්ෂයේ එම කාණ්ඩය යටතේ තෙවන ස්ථානයත්, 2018, 2019 සහ 2021 වර්ෂයන්හිදී රාජ්‍ය අංශයේ ජනප්‍රියම වෙබ් අඩවිය ලෙසත් ‘www.navy.lk’ නාවික හමුදා නිල ‍වෙබ් අඩවිය මීට පෙර ද අවස්ථා ගණනාවකදී සම්මානයට පාත්‍රවී ඇත.

තවද, නාවික හමුදා නිල වෙබ් අඩවියට හිමි වූ සම්මාන නාවික හමුදාධිපති වෙත පිරිනැමීමේ අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ නාවික තොරතුරු තාක්‍ෂණ, කොමදෝරු චමින්ද රණවීර ඇතුළු නාවික පුද්ගලයින් පිරිසක් සහභාගී වී සිටියහ.