බස්නාහිර පළාත් වයස අවුරුදු 24 න් පහල සත් සාමාජික රග්බි ශූරතාවය සහ අන්තර් සමාජ නිපෝන් රග්බි පළඟ ශූරතාවය නාවික හමුදාව දිනාගනියි

බස්නාහිර පළාත් වයස අවුරුදු 24 න් පහල, සත් සාමාජික රග්බි ශූරතාවය සහ අන්තර් සමාජ පළමු පෙළ 2021/2022 නිපෝන් තීන්ත රග්බි තරඟාවලියේ පළඟ ශූරතාවය නාවික හමුදා රග්බි කණ්ඩායම් විසින් දිනාගත් අතර, ජයග්‍රාහී රග්බි කණ්ඩායම් නායකයන් විසින් එම රග්බි කුසලාන නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත ඉදිරිපත් කිරීම අද (2022 සැප්තැම්බර් 21) නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.

බස්නාහිර පළාත් රග්බි සංගමය විසින් සංවිධානය කරන ලද වයස අවුරුදු 24 න් පහල සත් සාමාජික රග්බි තරඟාවලිය පසුගිය 2022 සැප්තැම්බර් මස 11 වන දින බම්බලපිටිය පොලිස් පාර්ක් රග්බි ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එහිදී, විවෘත අංශය යටතේ පීටර්සන් රග්බි සමාජය හා නාවික හමුදා රග්බි කණ්ඩායම අතර පැවති අවසන් තරඟයෙන් ලකුණු 50-05 ක් ලෙස විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගත් නාවික හමුදා රග්බි කණ්ඩායම බස්නාහිර පළාත් වයස අවුරුදු 24 න් පහළ සත් සාමාජික රග්බි ශූරතාවය දිනාගැනීමට සමත්විය.

එමෙන්ම, ශ්‍රී ලංකා රග්බි සංගමය විසින් සංවිධානය කරන ලද 2021/2022 නිපෝන් තීන්ත අන්තර් සමාජ රග්බි තරඟාලියේ පළඟ ශූරතාවය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ සීආර් ඇන්ඩ් එෆ්සී (CR & FC) යන පළමු පෙළ රග්බි කණ්ඩායම් තරඟ කරන ලදි. මෙම කණ්ඩායම් අතරින් ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් නාවික හමුදා රග්බි කණ්ඩායම 2021/2022 අන්තර් සමාජ රග්බි තරඟාවලියේ පළඟ ශූරතාවය දිනාගැනීමට සමත් වූ අතර, එම කුසලානය පසුගිය 2022 සැප්තැම්බර් මස 16 වන දින නාවික හමුදා රග්බි කණ්ඩායම වෙත ප්‍රදානය කෙරිණි.

ඒ අනුව, නාවික හමුදා වයස අවුරුදු 24 න් පහළ රග්බි කණ්ඩායම් නායක උප ලුතිනන් පීඑච් ඈපා සහ නාවික හමුදා පළමු පෙල රග්බි ක්‍රීඩා කණ්ඩායම් නායක බල නැවි ඒඊ වීරතුංග විසින් එම රග්බි කණ්ඩායම් විසින් දිනාගත් කුසලාන නාවික හමුදාධිපති වෙත ඉදිරිපත් කිරීම මෙලෙස නාවික හමුදා මූලස්ථානයේදී අද (2022 සැප්තැම්බර් 21) සිදුකෙරිණි. මෙහිදී නාවික හමුදාධිපති විසින් නාවික හමුදාව වෙනුවෙන් ලබාගත් එම ජයග්‍රහණ ඇගයීමට ලක්කර, ඉදිරියේදී නාවික හමුදාව වෙනුවෙන් තවත් ජයග්‍රහණ ලබාගැනීම සඳහා ඔවුන් වෙත සිය සුභාශිංෂණ පිරිනැමීමට කටයුතු කෙරිණි.

තවද, වත්මන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ නාවික හමුදා ක්‍රීඩා ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් පුළුල් කිරීම, විශේෂඥ පුහුණු අවස්ථා ලබාදීම සහ නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුභසාධන පහසුකම් වර්ධනය කිරීම වෙනුවෙන් සිදුකෙරෙන විශේෂ වැඩපිළිවෙල, නාවික හමුදා ක්‍රීඩා ක්ෂේත්‍රයේ දියුණුවට මහඟු පිටුවහලක් ගෙනදී ඇත.

මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා රියර් අද්මිරාල් නෙවිල් උබයසිරි, නාවික හමුදා රග්බි ක්‍රීඩා සංගමයේ සභාපති කොම‍දෝරු සනත් පිටිගල, නාවික හමුදා රග්බි ක්‍රීඩා සංගමයේ ලේකම් කපිතාන් තුසිත අබේසුන්දර ඇතුළු නාවික හමුදා රග්බි ක්‍රීඩා සංගමය නියෝජනය කරමින් නාවික පුද්ගලයින් පිරිසක් සහභාගීවී සිටියහ.