මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලය මඟින් පැවැත්වූ විශේෂ පුහුණු පාඨමාලවේ සමාප්ති උළෙල ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපතිනියගේ ප්‍රධානත්වයෙන්

මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලය මඟින් පවත්වන ලද යාත්‍රාවන් වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් නිලධාරීන් පුහුණු කිරීමේ පාඨමාලාවේ සමාප්ති උළෙල ත්‍රීකුණාමලයේදී 2022 සැප්තැම්බර් මස 22 වන දින පැවැත් වූ අතර, ඒ සඳහා ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපතිනී ට්‍රීනා යුරැන්ලි එස්කඩාල් මහත්මිය සහභාගී විය.

මුහුදු මාර්ගයන් ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අනෙකුත් අපරාධ මැඩපැවැත්වීමේ අරමුණින්, මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ පිළිබඳ වැඩසටහන යටතේ (UNODC–GMCP) සංවිධානය කරන ලද යාත්‍රාවන් වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳ නිලධාරීන් පුහුණු කිරීමේ පාඨමාලාවන් 2016 මැයි මස 04 වන දින සිට පැවැත්වෙයි.

ඒ අනුව, 2022 වර්ෂයේ හත්වන පාඨමාලාව වශයෙන් 2022 සැප්තැම්බර් මස 12 වන දින ආරම්භ කෙරුණු මෙම පාඨමාලාව සති දෙකක කාලසීමාවක් පුරා ත්‍රිකුණාමලය නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේදී සහ ත්‍රීකුණාමලය මුහුදු ප්‍රදේශයේදී ‍පැවැත්විණි. නෝර්වේජියානු තානාපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් මූල්‍ය දායකත්වය සපයන ලද මෙම පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් හතරක් (04) හා එක් (01) කාන්තා නිලධාරීණියක්, ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පස් දෙනෙකු (05), ශ්‍රී ලංකා ධීවර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හතර දෙනෙකු (04), මාලදිවයින් වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හතක් (07) හා එක් (01) කාන්තා නිලධාරිණියක් සහ මාලදිවයින් ධීවර දෙපාර්තමේන්තුවේ එක් (01) නිලධාරීයෙකු හා එක් (01) කාන්තා නිලධාරිණියක ඇතුළුව සමස්ථ නිලධාරීන් 24 දෙනෙකු සහභාගී විය.

එමෙන්ම, මෙම පාඨමාලාවේ අවසන් අභ්‍යාසය ත්‍රීකුණාමලය ෆවුල් තුඩුවට ආසන්න මුහුදේ දී ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඒ 521 නෞකාව කේන්ද්‍ර කරගනිමින් 2022 සැප්තැම්බර් මස 22 වන දින පැවැත් වූ අතර, එහි සමාප්ති උළෙල ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපතිනී ට්‍රීනා යුරැන්ලි එස්කඩාල් මහත්මිය‍ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

තවද, මෙම අවස්ථාව සඳහා රාජකීය නෝර්වේජියානු තානාපති කාර්යාලයේ නියෝජිතයින්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න, නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ අණදෙන නිලධාරී කපිතාන් නිශ්ශංක වික්‍රමසිංහ ඇතුළු නැගෙනහිර නාවික විධානයේ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් ද සහභාගී වී සිටියහ.