ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ ප්‍රථම ජාතික ආරක්‍ෂක පාඨමාලාව අවසන් කළ නාවික නිළධාරීන් සිය පත්වීම් භාරගැනීමට ප්‍රථම නාවික හමුදාධිපති හමුවෙයි

කොළඹ ජාතික ආරක්‍ෂක විද්‍යායතනය විසින් පවත්වන ලද ප්‍රථම ජාතික ආරක්‍ෂක පාඨමාලාව සාර්ථකව නිමාකරන ලද නාවික නිලධාරීන් අද (2022 සැප්තැම්බර් 23) දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවූ අතර, එම පාඨමාලාවේ උපාධි ප්‍රදානෝත්සවය පසුගිය 2022 සැප්තැම්බර් මස 14 වන දින එම විද්‍යායතන පරිශ්‍රයේදී සිදුකෙරිණි.

ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ජාතික ආරක්‍ෂක ක්ෂේත්‍රයේ මූලෝපායි හැකියාව ප්‍රවර්ධනය කිරීමේ ප්‍රමුඛතම ආයතනයක් ලෙස ස්ථාපිත ජාතික ආරක්‍ෂක විද්‍යායතනය (National Defence College – NDC) පසුගිය 2021 වර්ෂයේ නොවැම්බර් මස 11 දින විවෘත කෙරිණි. ඒ අනුව, මෙම පාඨමාලාව ආරම්භ කිරීම‍ට ප්‍රථම ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යලයේ සම්බන්ධීකරණයෙන්, මාර්ගගත ක්‍රමය ඔස්සේ ‘Managing Defence in the Wider Security Context (MDWSC) පාඨමාලාව මෙම නිලධාරීන් විසින් හදාරන ලද අතර, එම පාඨමාලාවේ ආචාර්යවරුන් වශයෙන් එක්සත් රාජධානියේ ආරක්‍ෂක විද්‍යාපීඨයේ ආචාර්යවරුන් කටයුතු කරන ලදි.

වත්මන් ජාතික, කලාපීය සහ ගෝලීය ගැටළු, ජාතික ආරක්ෂාවට සහ ප්‍රතිපත්තිවලට බලපාන අවස්ථා සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා උපාය මාර්ගික විකල්ප සැකසීම අරමුණු කරගත් ජාතික ආරක්‍ෂක පාඨමාලාව බහුවිධ ඉගෙනීම් අවස්ථාවන් ගෙන් සමන්විත වූ අතර, එහිදී, විෂයපථයන් 08 ක් යටතේ කාර්තු දෙකක් ආවරණය වන පරිදි අධ්‍යයන කටයුතු පවත්වන ලදි.

ප්‍රථම ජාතික ආරක්‍ෂක පාඨමාලාව සාර්ථකව නිම කරන ලද නාවික නිලධාරීන් අද (2022 සැප්තැම්බර් 23) දින නාවික හමුදාධිපති හමුවූ අවස්ථාවේදී, ඔවුන් වෙත නාවික හමුදාධිපති විසින් ශුභාශිංෂන පිරිනමන ලද අතර, පාඨමාලාව තුලින් ලබාගන්නා ලද දැනුම ප්‍රායෝගිකව භාවිතා කරමින් රටේ ජාතික ආරක්‍ෂාව සහතික කිරීම වෙනුවෙන් කටයුතු කිරීමටත් නාවික හමුදාවේ අනාගත අභිවෘද්ධිය උදෙසා දැනුම මනාලෙස කළමණාකරනය කිරීමටත් උපදෙස් ලබාදෙන ලදි. තවද, මෙම පාඨමාලාවේදී විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ රියර් අද්මිරාල් කාංචන බානගොඩ හට ඇගයීමේ සම්මානය පිරිනැමීම ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙතින් සිදු කෙරුණු අතර, ඒ සම්බන්ධයෙන් නාවික හමුදාධිපති විසින් ඔහු වෙත විශේෂ ශුභාශිංෂන පිරිනමන ලදි.