නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට මූලික කිමිදුම් පාඨමාලාව සම්පූර්ණ කළ කාන්තා නාවික පුද්ගලයන් වෙත සහතිකපත් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට මූලික කිමිදුම් පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ කාන්තා නාවික පුද්ගලයන් තිදෙනෙකු (03) වෙත සහතිකපත් පිරිනැමීම, 2022 සැප්තැම්බර් මස 24 වන දින නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු ඩේමියන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන්, ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණයේ නාවික හමුදා කිමිදුම් පාසලේදී සිදුකෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ සංකල්පයක් මත, කිමිදුම් අංශයට කැමැත්තක් දක්වන කාන්තා නාවික පුද්ගලයන් හට මූලික කිමිදුම් පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව මෙම වසරේ (2022) ජුලි මාසයේදී ලබාදෙන ලදි. ඒ අනුව, ඒ සඳහා අයදුම්කළ කාන්තා නාවික පුද්ගලයන් අතුරෙන් මූලික කිමිදුම් පාඨමාලාව හැදෑරීම සඳහා අවශ්‍ය ශාරීරික යෝග්‍යතාවය සහිත කාන්තා නිලධාරින් දෙදෙනෙකු (02) සහ එක් (01) කාන්තා නාවිකයෙකු 2022 සැප්තැම්බර් මස 05 වන දින ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේ නාවික හමුදා කිමිදුම් පාසලේ ආරම්භ කළ දින 20 ක මූලික කිමිදුම් පාඨමාලාව 2022 සැප්තැම්බර් මස 24 වන දින සාර්ථකව සම්පූර්ණ කරන ලදි. නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට මූලික කිමිදුම් පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ ලුතිනන් (සැපයුම්) ගයංකා සතරසිංහ හා උප ලුතිනන් (ස්වේච්ඡා) නිමාෂා ජයවික්‍රම යන කාන්තා නිලධාරීන් ‍දෙදෙනා වෙත සහ කාන්තා බල ශාරීරීක අභ්‍යාසක ජීඩීඩී සකුන්තලා වෙත සහතිකපත් ප්‍රදානය කිරීම මෙලෙස 2022 සැප්තැම්බර් මස 24 වන දින ත්‍රීකුණාමලය නාවික හමුදා කිමිදුම් පාසලේදී සිදුකෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් අංශය 1962 වර්ෂයේ ස්ථාපිත කර ඇති අතර, නාවික හමුදා කිමිදුම්කරුවන් වෙත වඩා විධිමත් කිමිදුම් පුහුණුවක් ලබාදීමේ අරමුණෙන් 1998 වර්ෂයේදී නාවික හමුදා කිමිදුම් පුහුණු පාසල ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණ පරිශ්‍රයේ ස්ථාපිත කර ඇත. නාවික හමුදා කිමිදුම් අංශය මඟින් දෛනිකව කිමිදුම් සහය ලබාදීමේ මෙහෙයුම් සඳහා දායකත්වය ලබාදීම සිදුකෙරෙන අතර, දියයට පරීක්‍ෂා කිරීම්, අළුත්වැඩියා කිරීම්, නඩත්තු කිරීම්, ගොඩගැනීමේ මෙහෙයුම්, ආරක්‍ෂණ නිශ්කාෂණ කටයුතු සඳහා සහයවීම, දියයට ඉදිකිරීම්, දියයට මිණුම් කටයුතු, දියයට සෙවීම් හා මුදා ගැනීම් මෙන්ම රජ්‍ය හා පෞද්ගලික අංශය වෙත අවශ්‍ය විවිධ කිමිදුම් සහය ලබාදීම ඇතුළු පුළුල් පරාසයක කිමිදුම් මෙහෙයුම් සඳහා නාවික හමුදා කිමිදුම් අංශය දායකත්වය ලබාදෙනු ලබයි.

තවද, මෙලෙස මූලික කිමිදුම් පාඨමාලාව සම්පූර්ණ කළ ප්‍රථම කාන්තා නාවික පුද්ගලයන් ඉදිරියේදී ලබාගන්නා කිමිදුම් ප්‍රවීණතාවය මත, කිමිදුම් මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍යතාවය පරිදි යෙදවීමට නාවික හමුදාව අපේක්‍ෂා කෙරේ.