ත්‍රිකුණාමලය සාම්පූර් හි ඉදිකල නව ජැටිය විවෘත කෙරේ

ත්‍රිකුණාමලය දකුණ මුහුදු ප්‍රදේශයේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරිම උදෙසා සාම්පූර් හී ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ අභිනවයෙන් ඉදිකළ කුඩා යාත්‍රා නැවැත්වීමේ ජැටිය ‘මැරීන් පියර්’ (Marine Pier) ලෙස නම් කර විවෘත කිරිම 2022 සැප්තැම්බර් මස 26 වන දින නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්නගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ත්‍රිකුණාමලය දකුණ කොඩ්ඩියාර් බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු වන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා කුඩා යාත්‍රා මඟින් ආවේක්ෂණ මුර සංචාර සිදු කිරීමේදී, එම මුහුදු ප්‍රදේශයේ කුඩා යාත්‍රා ආරක්ෂිතව නැවැත්විමේ පහසුකම් නොමැතිවීම, එම ආරක්‍ෂක මුර සංචාර කාර්යක්‍ෂමව සිදුකිරීමට බාධාවක්ව පැවතිණි. ඒ අනුව, ත්‍රීකුණාමලය දකුණ මුහුදු ප්‍රදේශයේ කුඩා යාත්‍රා ආරක්ෂිතව නැවැත්විමේ පහසුකම් ස්ථාපනය කිරීම සඳහා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න ගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති ගේ අධීක්ෂණයෙන් මෙම නව ජැටියේ ඉදිකිරිම් කටයුතු 2022 ජූලි මාසයේදී ආරම්භ කරන ලදි.

ඒ අනුව, නාවික හමුදා තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් කඩිනමින් වැඩ අවසන් කරන ලද මෙම නව ජැටිය ‘මැරීන් පියර්’ (Marine Pier) ලෙස නම් කර මෙලෙස විවෘත කිරිම 2022 සැප්තැම්බර් මස 26 වන දින සිදු කෙරුණු අතර, එමඟින් ඉදිරියේදී ත්‍රිකුණාමලය දකුණ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු වන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා කුඩා යාත්‍රා මඟින් සිදුකරනු ලබන ආවේක්ෂණ මුර සංචාර හා මෙහෙයුම් කටයුතු මෙන්ම මැරීන් බළඝණයේ කුඩා යාත්‍රා පුහුණු කටයුතු වඩාත් කාර්යක්ෂමව සහ ඵලදායී ලෙස සිදු කිරීමට මහත් පිටුවහලක් ලැබෙනු ඇත.

මෙම නව ජැටිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේ සහ ශ්‍රි ලංකා නාවික නෞකා විදුර ආයතනයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු නාවික පුද්ගලයන් පිරිසක් සහභාගී වී සිටියහ.