ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 247 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 333 ක් විසිර යයි

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 247 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 333 ක් සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර 2022 ඔක්තෝබර් මස 01 වන දින පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යන ලදී.

ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ආඥාපති සහ අණදෙන නිලධාරී, කපිතාන් අරුණ වීරසිංහ ගේ ආරාධනයෙන් මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් ප්‍රසන්න මහවිතාන සහභාගී වූ අතර, මූලික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ ආධුනික නාවිකයින් වෙත කුසලාන ප්‍රදානය කිරීම ප්‍රධාන ආරාධිතයා විසින් සිදු කෙරිණි.

ඒ අනුව, 247 වන බඳවා ගැනීමේ විශිෂ්ඨතම ආධුනික නාවිකයාට හිමි කුසලානය ආධුනික නැවි එස්යූඑල් ද සිල්වා විසින්ද, සියලුම විෂයන් සඳහා වැඩිම ලකුණු ලබාගත් නාවිකයාට හිමි කුසලානය ආධුනික නැවි පීජීඑස්ඩබ් හේමන්ත විසින්ද, දක්‍ෂතම ඉලක්කකරුට හිමි කුසලානය ආධුනික නැවි ඩබ්ඒආර් ලක්ෂාන් විසින්ද හිමි කර ගත් අතර, දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය ආධුනික නැවි ජේවීඩී කෞමධු විසින් හිමි කර ගන්නා ලදී. තවද, 247 ආධුනික බඳවා ගැනීමට අයත් දක්‍ෂතම ආධුනික අංශයට හිමි කුසලානය ‘වසභ’ අංශයට හිමිවිය.

මෙහිදී විසිර යන ආධුනික නාවිකයන් ඇමතූ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් ප්‍රසන්න මහවිතාන, විසිර යන ආධුනික නාවිකයන් වෙත ප්‍රථමයෙන් සිය සුභාශිංෂණ පිරිනමන ලදි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, ශ්‍රී ලංකාවට අයත් සාගරික කළාපයේ ආරක්‍ෂාව තහවුරු කිරීම හා සාගරය ඔස්සේ රට තුලට එල්ලවන ඕනෑම අභියෝගයක් මැඩපැවැත්වීම සඳහා මෙන්ම, ගොඩබිම මෙන්27 ගුණයක් විශාල ශ්‍රී ලංකාවට අයත් සෙවීම් හා මුදවා ගැනීම් කලාපය තුල ආපදාවට පත්වන නාවික හා ධීවර ප්‍රජාව වෙත සහන සැලසීමේ මෙහෙයුම් සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට සුවිශේෂී වගකීමක් පැවරී ඇති බව සඳහන් කරන ලදි. එමෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදාව රටේ ජාතික සංවර්ධනයට උරදෙමින් රට තුල සීඝ්‍රයෙන් පැතිර යන මත් උවදුර පිටු දැකීම සඳහා නාවික හමුදාවේ සම්පත් උපරිම කාර්යක්‍ෂමතාවයෙන් යුතුව යොදවමින් විශාල කාර්යය භාරයක් සිදුකරන බවත්, විසිර යන ආධුනික නාවිකයන් පුහුණුවෙන් ලද පන්නරය සහ විනය ප්‍රායෝගිකව ක්‍රියාවෙහි යොදවමින් ඉදිරියේදී නාවික හමුදාවේ කාර්ය හා කර්තව්‍ය ඉටුකිරීමට අධිෂ්ඨානශීලීව කැපවිය යුතු බවත් පැවසූ රියර් අද්මිරාල් ප්‍රසන්න මහවිතාන, මව්බිමට සේවය කිරීම සඳහා තම පුතුන් නාවික හමුදාවට භාරදුන් විසිර යන ආධුනික නාවිකයන්ගේ දෙමාපියන් සහ පවුල්වල සාමාජිකයින් වෙතද සිය ගෞරවය සහ ස්තූතිය පුද කර සිටින ලදී.

තවද, මෙම විසිරයෑමේ පෙළපාලිය විසිර ගිය ආධුනික නාවිකයන් සහභාගී වූ සරඹ සංදර්ශනයකින් සහ නාවික හමුදා තුර්යවාදක කණ්ඩායමේ හා සංස්කෘතික කණ්ඩායමේ විචිත්‍රවත් සංදර්ශනයකින් ද වර්ණවත් විය.

මෙම විසිරයෑමේ පෙළපාලිය සඳහා ගරුතර මහා සංඝරත්නය, උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක, නාවික හමුදා මූලස්ථානයේ සහ උතුරු මැද නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ නිලධාරීන් හා නාවිකයින් සහ විසිර ගිය ආධුනික නාවිකයින්ගේ දෙමාපියන් සහභාගී වී සිටියහ.