ලෝක ළමා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේදී විශේෂ වැඩසටහනක්

ඔක්තෝබර් මස 01 වන දින සමරන ලද මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් ශ්‍රි ලංකා නාවික හමුදාව විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේදී 2022 ඔක්තෝබර් මස 02 වන දින පැවැත්වීමට කටයුතු කෙරිණි.

ළමා අයිතීන් සුරැකීම සඳහා ප්‍රමුඛතාවය ලබා දීම සැමගේ යුතුකමක් ලෙස සළකමින් ‘සිනහ දකින - අපේ ලොවක්’ යන තේමාව පෙරදැරිව මෙවර ශ්‍රී ලංකාවේ ලෝක ළමා දිනය සමරනු ලබයි. ඒ අනුව, ලෝක ළමා දිනයට සමගාමීව නාවික හමුදාව විසින් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේ පැවැත්වූ මෙම වැඩසටහන සඳහා ළමුන් කණ්ඩායමක් සහභාගී වූ අතර, එහිදි එම ළමුන් හට ගජබාහු නෞකාව නැරඹීමේ සංචාරයක් සහ නෞකාව මතදී කෙටි ආහාර සහ සිසිල් බීම සංග්‍රහයක් ලබාදීමටත් කටයුතු සංවිධානය කරන ලදී. මීට පෙර පැවති ලෝක ළමා දින වැඩසටහන්වලදීද ශ්‍රී ලංකා නාවික හමුදාව කොළඹ වරායේ තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවන් නැරඹීම සඳහා ළමුන් හට අවස්ථාව ලබා දී තිබෙන අතර, මෙවර ලෝක ළමා දිනය නිමිත්තෙන් ගජබාහු නෞකාව නැරඹිමට සහ නෞකාවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව ලැබීම ඔවුන් හට නැවුම් අත්දැකීමක් විය.

තවද, මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් ළමුන් කණ්ඩායමක් හට ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව නැරඹිමේ සංචාරය සංවිධානය කිරීම ශ්‍රී ලංකන් ගුවන් සේවය, ගාලු මුවදොර හෝටලය සහ ඊබට් සිල්වා ආයතනයේ දායකත්වයෙන් සිදු කෙරිණි.