බංගලාදේශ ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ දූත පිරිසක් නාවික හමුදා මුලස්ථානයේ සංචාරයක

ගෲප් කපිතාන් අමීන් කාන් (Group Captain Amin Khan) ගේ ප්‍රධානත්වයෙන් යුත් බංගලාදේශ ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන බංගලාදේශ ත්‍රිවිධ හමුදා ශිෂ්‍ය නිලධාරීන් සහ අධ්‍යන කාර්යමණ්ඩල සාමාජිකයින්ගෙන් සමන්විත නිලධාරින් 43 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් 2022 ඔක්තෝබර් මස 03 වන දින නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

බංගලාදේශ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාවේ විදේශ අධ්‍යයන චාරිකා අංගය යටතේ දින 06 ක අධ්‍යයන චාරිකාවාරයක් සදහා 2022 ඔක්තෝබර් මස 01 වන දින මෙම දූත පිරිස ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන බංගලාදේශ ත්‍රිවිධ හමුදා නිලධාරීන් තිස් අටදෙනෙකු (38) ඇතුළු නිලධාරීන් හතලිස් තුන්දෙනෙකුගෙන් (43) මෙම පිරිස සමන්විත වේ.

නාවික හමුදා මූලස්ථානයට පැමිණි බංගලාදේශ දූත පිරිසෙහි ප්‍රධානී ගෲප් කපිතාන් අමීන් ඛාන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවී සුහද පිලිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

තවද, නාවික හමුදා අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම්, කොමදෝරු බුද්ධික ලියනගමගේ විසින් මෙම බංගලාදේශ දූත පිරිස වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව හා එහි කාර්යභාරය සම්බන්ධයෙන් නාවික හමුදා මූලස්ථානයේදී හැඳින්වීමේ දේශනයක් පවත්වන ලද අතර, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, සහ නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් මහින්ද මහවත්ත විසින් එහිදී බංගලාදේශ දූත පිරිස සමඟ අධ්‍යයන සාකච්ඡාවක් පැවැත්වීමද සිදු කෙරිණි.