නාවික හමුදාවේ දායකත්වයෙන් සංවර්ධනය කළ හම්බන්තොට මොරයාය මහා විද්‍යාලයේ පහසුකම් සිසු අයිතියට පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් හම්බන්තොට, මොරයාය මහ විද්‍යාලයේ සංවර්ධනය කරන ලද පන්ති කාමර ගොඩනැගිලි පහසුකම් සිසු අයිතියට පත් කිරීම අද (2022 ඔක්තෝබර් 05) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ‍ගේ උපදෙස් හා මඟපෙන්වීම මත, අඩු පහසුකම් සහිත දුෂ්කර පාසල් සංවර්ධනය කිරීමේ නාවික හමුදා සමාජ සත්කාරක ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදාවේ මුල්‍ය හා ශිල්පීය දායකත්වයෙන් සහ දකුණු නාවික විධානයේ ආඥාපතිගේ අධීක්ෂණයෙන්, මොරයාය මහ විද්‍යාලයේ පන්ති කාමර පහසුකම් සංවර්ධනය කිරීමේ කටයුතු 2022 ජුලි මස 29 වන දින ආරම්භ කරන ලදී. ඒ අනුව, නාවික හමුදා දායකත්වයෙන් නවීකරණය කරන ලද විද්‍යාලයේ පැවති පන්ති කාමර 03 ක් සහිත පැරණි ගොඩනැගිල්ල සහ එම ගොඩනැගිල්ලට යාබදව අභිනවයෙන් පන්ති කාමර 02 ක් ඉදිකර සංවර්ධනය කල පන්ති කාමර පහසුකම් සිසු අයිතියට පත් කිරීම, මෙලෙස නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් අද දින (2022 ඔක්තෝබර් 05) සිදු කෙ‍රිණි.

මොරයාය මහ විද්‍යාලයේ විදුහල්පති, ගුරු භවතුන් සහ සිසු දරුවන් විසින් විද්‍යාලය වෙත නාවික හමුදාධිපති ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමට කටයුතු සංවිධානය කර තිබූණි. මෙම උත්සව අවස්ථාවේදී අදහස් දැක්වූ මොරයාය මහ විද්‍යාලයේ විදුහල්පති චින්තන ගීපති මහතා, විද්‍යාලයේ පන්ති කාමර පහසුකම් සංවර්ධනය කර දරුවන්ගේ අනාගත අධ්‍යාපන කටයුතු සඳහා වඩා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාවික හමුදාව සිදු කළ දායකත්වය ඉතා අගය කොට සළකන බවත්, විද්‍යාලයේ සිසු දරුවන්, දෙමාපියන් සහ ගුරු මණ්ඩලය වෙනුවෙන් නාවික හමුදාධිපති ඇතුළු සමස්ථ නාවික හමුදාව වෙත සිය ප්‍රශංසාව පුද කර සිටින බවත් එහිදී ප්‍රකාශ කරන ලදී.

තවද, විද්‍යාලයේ පුස්තකාලය සඳහා අවශ්‍ය පොත් ප්‍රදානය කිරීම සහ විද්‍යා‍ලයේ සිසු දරුවන් වෙනුවෙන් ක්‍රීඩා උපකරණ ප්‍රදානය කිරීමද මෙහිදී නාවික හමුදාධිපති විසින් සිදු කරන ලදී. එමෙන්ම, නාවික හමුදා දායකත්වයෙන් කඩිනමින් පහසුකම් සංවර්ධනය කර සිසු අයිතියට පත් කිරීම සඳහා දායක වූ නාවික හමුදා පුද්ගලයින් වෙත සිය ප්‍රශංසාව පළ කිරිමටද නාවික හමුදාධිපති විසින් එහිදී කටයුතු කරන ලදි.

නාවික හමුදාව මඟින් සංවර්ධනය කරන ලද මොරයාය මහා විද්‍යාලයේ පන්ති කාමර පහසුකම් සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු රියර් අද්මිරාල් රවින්ද්‍ර මැදගොඩ, දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් හරින්ද්‍ර ඒකනායක ඇතුළු එම විධානයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින්, වලස්මුල්ල කළාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ සීයූ වීරසේකර මහතා, මොරයාය මහ විද්‍යාලයේ විදුහල්පති චින්තන ගීපති මහතා ඇතුළු එම විද්‍යාලයේ ගුරු මණ්ඩලය, සිසු දරුවන් සහ දෙමව්පියන් පිරිසක් සහභාගී වී සිටියහ.