දකුණු නාවික විධාන රෝහලෙහි ස්ථාපිත කළ දැඩි නිරීක්‍ෂණ ඒකකය (High Dependency Unit- HDU) විවෘත කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ පරිත්‍යාගශීලී ආයතන හා සංවිධානයන්ගේ ආධාර හා පරිත්‍යාග මත ගාල්ල, බූස්ස දකුණු නාවික විධාන රෝහලෙහි ස්ථාපිත කළ දැඩි නිරීක්‍ෂණ ඒකකය (High Dependency Unit- HDU), නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ‍ගේ ප්‍රධානත්වයෙන් 2022 ඔක්තෝබර් මස 05 වන දින විවෘත කෙරිණි.

කොවිඩ් 19 ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ රජයේ වැඩපිලිවෙලට සහය වෙමින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ‍ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ගාල්ල, බූස්ස නාවික හමුදා කඳවුර තුල ඇඳන් 250 කින් සමන්විත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පසුගිය 2021 වර්ෂයේ මැයි මාසයේදී නාවික හමුදාව විසින් ස්ථාපනය කරන ලදි. ඒ අනුව, එම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ඇතුළත් වන රෝගීන් හට අවශ්‍ය විශේෂ ප්‍රතිකාර සිදු කිරිම සඳහා මෙම දැඩි නිරීක්‍ෂණ ඒකකයෙහි (High Dependency Unit- HDU) ඉදිකිරීමේ කටයුතු 2021 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී ආරම්භ කෙරිණි.

මෙම දැඩි නිරීක්‍ෂණ ඒකකය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය විශේෂ වෛද්‍ය උපකරණ, රෝගී පරීක්‍ෂණ යන්ත්‍ර, විශේෂ පහසුකම් සහිත ඇඳන් ඇතුළු වෛද්‍ය සැපයුම් සඳහා ද්‍රව්‍යමය වශයෙන් සහ මූල්‍යමය වශයෙන් ආධාර සහ පරිත්‍යාග කිරීම සිටිසන් ඩිවලොප්මන්ට් බිස්නස් ෆයිනෑන්ෂියල් පුද්ගලික සමාගම (Citizens Development Business Finance PLC), දහම් පහන සංවිධානය, රෝහල් සේවා මණ්ඩලය සහ ‘මොර 92’ කණ්ඩායම යන ආයතන හා සංවිධාන විසින් සිදුකරන ලද අතර, ගාල්ල රදගුරු රේමන්ඩ් වික්‍රමසිංහ හිමිපානන් විසින්ද විවිධ පරිත්‍යාගශිලීන්ගෙන් ලද වෛද්‍ය සැපයුම් මෙම දැඩි නිරීක්‍ෂණ ඒකකය වෙත ප්‍රදානය කිරීම සිදු කෙරිණි.

ඒ අනුව, මෙම දැඩි නිරීක්‍ෂණ ඒකකය ස්ථාපිත කිරීම මඟින් ඉදිරියේදී ජාතික අවශ්‍යතාවයකදී සෞඛ්‍ය සේවයට අවශ්‍ය සහයෝගය ලබාදීමට නාවික හමුදාවට හැකියාව ලැබෙනු ඇත.

තවද, මෙම දැඩි නිරීක්‍ෂණ ඒකකය විවෘත කිරීමේ අවස්ථාව සඳහා අධ්‍යක්ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු රියර් අද්මිරාල් රවීන්ද්‍ර මැදගොඩ, දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් හරීන්ද්‍ර ඒකනායක, වැ/අධ්‍යක්ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා වෛද්‍ය කොමදෝරු පිජේබි මාරඹේ, විධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය කොමාණ්ඩර් සාලිය ජයසුමන ඇතුළු දකුණු නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටින ලදි. එමෙන්ම, මෙම දැඩි නිරීක්‍ෂණ ඒකකය ස්ථාපනය කිරීම සඳහා අනුග්‍රහය දැක්වූ රෝහල් සේවා මණ්ඩලයේ නිර්මාතෘ පූජ්‍ය රජවැල්ලේ සුභූති හිමි, ගාල්ල රදගුරු නියෝජනය කරමින් රුවන් ප්‍රසාද් පියතුමා, සිටිසන් ඩිවලොප්මන්ට් බිස්නස් ෆයිනෑන්ෂියල් පුද්ගලික සමාගමේ ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්‍ෂ ශෂීන්ද්‍ර මුණසිංහ මහතා මෙන්ම ගාල්ල කරාපිටිය සහ මහමෝදර ශික්ෂණ රෝහල් නියෝජනය කරමින් විශේෂඥ වෛද්‍ය නිලධාරීන් පිරිසක්ද සහභාගී වී සිටියහ.