නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය නාවික හමුදාවේ දායකත්වයෙන් සාර්ථකව පවත්වයි

යාපනය, නයිනතිව් දූපතේ පිහිටි ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය 2022 ඔක්තෝබර් මස 10 සහ 11 දෙදින ශ්‍රී ලංකා නාවික හමුදාවේ බැතිබර දායකත්වයෙන් සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, නාගදීප පුරාණ රජ මහා විහාරාධිපති, උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමිගේ අනුශාසනා පරිදි, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් ගේ අධීක්ෂණයෙන් ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය සංවිධානය කරන ලද අතර, එම පුණ්‍ය මහෝත්සවය සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.

මෙම කඨින පුණ්‍ය මහෝත්සවය ආරම්භ කරමින් 2022 ඔක්තෝබර් මස 10 වන දින නයිනතිව් දූපතේ නාවික හමුදා අනුඛණ්ඩයේ සිට කඨින චීවරය උතුරු නාවික විධානය විසින් සංවිධානය කළ විචිත්‍රවත් පෙරහැරක් මඟින් නයිනතිව් දූපත වටා ජනතාවගේ වන්දනාමාන පිණිස පිරිත් සජ්ජායනා මධ්‍යයේ රැගෙන ගොස් නැවත නාවික හමුදා අනුඛණ්ඩයේ තැම්පත් කරන ලද අතර, එදින සන්ධ්‍යාවේ නාගදීප රජ මහා විහාරස්ථානයේ නාවික හමුදා දායකත්වයෙන් බෞද්ධාගමික වත් පිළිවෙත් සිදුකරන ලදී.

2022 ඔක්තෝබර් 11 වන දින උදෑසන නාවික හමුදා අනුඛණ්ඩයේ සිට කඨින චීවරය නාගදීප විහාරස්ථානයට වැඩම කරවා කඨින චීවර පූජාව සිදුකර, ගරුතර මහා සංඝරත්න‍ය 25 ස් නමක් වෙනුවෙන් හීල් දානය සහ පිරිකර පූජා කිරීම සිදුකෙරුණු අතර, මෙම පිංකමට සමඟාමීව නයිනතිව් දූපත් වාසී ජනතාව වෙනුවෙන් දිවා ආහාරය පිරිනැමීමට ද නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

තවද, නාගදීප විහාර පරිශ්‍රයේ ගෞතම බුදු රදුන්ගේ බෝසත් සමයේ දුෂ්කරක්‍රියාව විදහා දැක්වෙන පිළිමවහන්සේ නමක් උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් ගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 11 වන දින විවෘත කර සසුනට පූජා කෙරුණු අතර, නාගදීප විහාර පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකිරිමට යෝජිත අවුකණ බුද්ධ ප්‍රතිමාවේ අනුරුව සඳහා මුල්ගල තැබීම ද එහිදී සිදු කෙරිණි.

තවද, මෙම කඨිණ පුණ්‍ය මහෝත්සවය සඳහා හිටපු නාවික හමුදාධිපති වරුන් දෙපලක් වන අද්මිරාල් දයා සඳගිරි සහ අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී වී සිටි අතර, උතුරු නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් ද, බොදු බැතිමතුන් පිරිසක් ද මෙම කඨින පුණ්‍ය මහෝත්සවය සඳහා බැති සිතින් සහභාගි වී සිටියහ.