ගිණිකොන නාවික විධානයේ නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ වැඩ භාර ගනී

රියර් අද්මිරාල් කාංචන බානගොඩ ගිණිකොන නාවික විධානයේ නව ආඥාපති වශයෙන් අද (2022 ඔක්තෝබර් 12) දින එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.

ඒ අනුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සම්මාන මුරයක් මඟින් උත්තමාචාර පිරිනමා ගිණිකොන නාවික විධානය වෙත නව ආඥාපති පිළිගැනීමෙන් අනතුරුව, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙරුම විසින් විධාන මූලස්ථානයේදී ආඥාපති ධූරයෙහි රාජකාරීන් රියර් අද්මිරාල් කාංචන බානගොඩ වෙත භාර දීම සිදු කෙරිණි.

තවද, හිටපු ආඥාපති රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙරුම වෙත ගිණිකොන නාවික විධානයේ ‍‍‍‍‍නිලධාරීන් සහ නාවිකයින් විසින් සුභ පැතීමෙන් අනතුරුව නාවික සම්ප්‍රදායානුකූලව සමුදීම සිදු කෙරිණි.