‍ත්‍රීකුණාමලය, මොල්ලිපොතාන ප්‍රදේශයේ ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන් සහ වෛද්‍ය සායනය සඳහා නාවික හමුදා සහය

ත්‍රීකුණාමලය, මොල්ලිපොතාන ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය විසින්, මොල්ලිපොතාන ප්‍රාථමික රෝහලේදී පසුගිය 2022 සැප්තැම්බර් මස 15, 24 සහ ඔක්තෝබර් මස 15 දිනයන්හි පවත්වන ලද ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන් සහ වෛද්‍ය සායන සාර්ථකව පැවැත්වීම සඳහා නාවික හමුදාවේ සහාය ලබාදීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ මඟ පෙන්වීම මත හා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපතිගේ අධීක්‍ෂණය යටතේ, සමාජ සත්කාරයක් ලෙස, මෙම ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන් සහ වෛද්‍ය සායන සාර්ථකව පැවැත්වීම සඳහා නැගෙනහිර නාවික විධාන රෝහලේ වෛද්‍ය සහායක කණ්ඩායමක සහාය ලබාදීමට නාවික හමුදාව කටයුතු කරන ලදී. මෙම සමාජ සත්කාරක වැඩසටහන මඟින් ත්‍රීකුණාමලය මොල්ලිපොතාන ප්‍රදේශයේ වයස අවුරුදු 35 ට වැඩි පුද්ගලයන් 521 ක පමණ පිරිසක් පරීක්‍ෂාවට ලක්කර, බෝ නොවන රෝග වළක්වා ගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබාදීමට කටයුතු කෙරිණි.

තවද, ත්‍රීකුණාමලය මහරෝහලේ ලේ බැංකුවේ රුධිර සංචිත නිසිලෙස පවත්වාගැනීම වෙනුවෙන් එම ලේ බැංකුව මඟින් ත්‍රීකුණාමලය මහරෝහලේ දී සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් සඳහා ද නැගෙනහිර නාවික විධානයේ නාවික පුද්ගලයන් 22 දෙදෙනෙකු දායකත්වය ලබාදීම සිදුකෙරිණි.

මහජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන මෙවැනි සමාජ සත්කාරක වැඩසටහන් සඳහා ඉදිරියේදීද අවශ්‍ය සහාය ලබා දීමට නාවික හමුදාව සූදානමින් සිටී.