නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් සුජීව සෙනෙවිරත්න නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් සුජීව සෙනෙවිරත්න සිය වසර 34 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් අද (2022 ඔක්තෝබර් 21) දින විශ්‍රාම යන ලදී.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න ප්‍රමුඛ නාවික හමුදා කළමණාකරන මණ්ඩලය විසින් අද දිනට 55 වන උපන්දිනය යෙදී ඇති රියර් අද්මිරාල් සුජීව සෙනෙවිරත්න වෙත උපන් දින සුභපැතුම් එක් කිරීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මගින් ඔහු වෙත උත්තමාචාරය පුද කෙරිණි. සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික හමුදා මූලස්ථානයේ සිට, නාවික රථ පෙළපාලියකින් පිටව යන මොහොතේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් එම ජ්‍යේෂ්ඨ නිලධාරියා හට සුභාශිංසන පිරිනමන ලදි.

1988 වර්ෂයේදී 18 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් සුජීව සෙනෙවිරත්න, සිය සේවා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ හතරවන වේග ප්‍රහාරක යාත්‍රා බලඝණයේ වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හි අණභාර නිලධාරී, බලඝණ අණදෙන නිලධාරී සහ හතරවන වේග ප්‍රහාරක යාත්‍රා බලඝණයේ 21 වන අණදෙන නිලධාරී ලෙස සහ ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතන‍යේ අණදෙන නිලධාරී වශයෙන් රාජකාරී සිදු කොට ඇත. තවද ඔහු, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික සුභසාධක, ඉන්දියාවේ නවදිල්ලි හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කපිතාන් මෙහෙයුම් දෙපාර්තමේන්තුව (උතුර), නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම්, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මැරීන් විශේෂ බළකා, නාවික හමුදාවේ 22 වන නාවික හමුදාධිපතිගේ නාවික සහයක, අධ්‍යක්‍ෂ නාවික සංඥා හා අධ්‍යක්‍ෂ නාවික පුහුණු සහ වත්මන් නාවික හමුදාධිපතිගේ නාවික සහයක වැනි ප්‍රමුඛ නිලතල දරා ඇති කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.