‘Trinco Dialogue - 2022’ සාගරික සම්මන්ත්‍රණය ත්‍රිකුණාමලයේදී සාර්ථකව පවත්වයි

‘Trinco Dialogue – 2022’ සාගරික සම්මන්ත්‍රණය ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේදී 2022 ඔක්තෝබර් මස 21 වන දින නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න ගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පවත්වන ලදී.

‘ශ්‍රී ලංකා නාවික හමුදාව: අනාගතය සඳහා මාර්ග සිතියම’ යන තේමාව පෙරදැරිව නාවික හමුදාවේ තරුණ නිලධාරීන්ගේ වෘත්තීය දැනුම පුළුල් කිරීමේ අරමුණින් 08 වන වරට පවත්වන ලද ‘Trinco Dialogue – 2022’ සාගරික සම්මන්ත්‍රණය ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු ‍ඩේමියන් ප්‍රනාන්දු ගේ මඟපෙන්වීම මත, එම විද්‍යාපීඨයේ 31 වන කණිෂ්ඨ නිලධාරි මාණ්ඩලික පාඨමාලාවට අයත් ශිෂ්‍ය නිලධාරීන් විසින් සංවිධානය කරන ලදී.

මෙම සම්මන්ත්‍රණයේ විද්වත් කතිකාව ආරම්භ කරමින්, රත්මලාන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සින්දුජා ජයරත්න මහත්මිය විසින් නිබන්ධනයක් ඉදිරිපත් කරන ලදී. එමෙන්ම, කොමාණ්ඩර් ප්‍රියදර්ශන උඩකුඹුර සහ කොමාණ්ඩර් චමින්ද වළාකුළුගේ විසින්ද එහිදී නිබන්ධන ඉදිරිපත් කරන ලද අතර, 31 වන කණිෂ්ඨ නිලධාරි මාණ්ඩලික පාඨමාලාවට අයත් ශිෂ්‍ය නිලධාරීන් 06 දෙනෙකු විසින් නිබන්ධන 03 ක් ඉදිරිපත් කිරීමද එහිදී සිදු කෙ‍රිණි.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මුලස්ථානය සහ නැගෙනහිර නාවික විධානය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා යුද හමුදා සැපයුම් හා සේවා විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරීන්, ශ්‍රී ලංකා ගුවන් හමුදා කණිෂ්ඨ නිලධාරී අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරීන් සහ නාවික හා සාගරික විද්‍යාපීඨයේ 31 වන කණිෂ්ඨ නිලධාරි මාණ්ඩලික පාඨමාලාවට අයත් ශිෂ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වි සිටියහ.