ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 248 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 238 ක් විසිර යයි

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 248 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 238 ක් සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර 2022 ඔක්තෝබර් මස 22 වන දින ‍ත්‍රිකුණාමලය, සාම්පූර් ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යන ලදී.

ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ ආඥාපති, කපිතාන් රොහාන් දිසානායක ගේ ආරාධනයෙන් මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නැගෙනහිර විධා‍නයේ ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න සහභාගී වූ අතර, මූලික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ ආධුනික නාවිකයින් වෙත කුසලාන ප්‍රදානය කිරීම ප්‍රධාන ආරාධිතයා විසින් සිදු කෙරිණි.

ඒ අනුව, 248 වන බඳවා ගැනීමේ විශිෂ්ඨතම ආධුනික නාවිකයාට හිමි කුසලානය, සියලුම විෂයන් සඳහා වැඩිම ලකුණු ලබාගත් නාවිකයාට හිමි කුසලානය සහ දක්‍ෂතම ඉලක්කකරුට හිමි කුසලානය, ආධුනික නැවි යූජීආර්එම් ජයරත්න විසින්ද, දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය ආධුනික නැවි ඩබ්එම්එල්සී වන්නිනායක විසින්ද හිමි කර ගන්නා ලදී. තවද, 248 ආධුනික බඳවා ගැනීමට අයත් දක්‍ෂතම ආධුනික අංශයට හිමි කුසලානය ‘ගජබාහු’ අංශයට හිමිවිය.

මෙහිදී විසිර යන ආධුනික නාවිකයන් ඇමතූ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නැගෙනහිර විධා‍නයේ ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න, විසිර යන ආධුනික නාවිකයන් වෙත ප්‍රථමයෙන් සිය සුභාශිංෂණ පිරිනමන ලද අතර, දශක තුනකට අධික කාලයක් අප රට වෙළා පැවතී රුදුරු ත්‍රස්තවාදය මුලිනුපුටා දමා රටට නිදහස උදා කර ගැනීම සඳහා තාක්ෂණයෙන් හා විශිෂ්ඨ වෘත්තීමය හැකියාවන්ගෙන් නිපුණ හමුදාවක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව මුහුදේදී මෙන්ම ගොඩබි‍මේදී සිදුකල කාර්යභාරය අනභිබවනීය බව පවසන ලදී. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, එවන් වූ අභිමානවත් නාවික හමුදාවක සාමාජිකයෙකු වශයෙන් එක්වන ආධුනික නාවිකයන් අප සැම භුක්ති විඳින මෙම සැබෑ නිදහස මතු පරපුරට දයාද කර දීමටත්, මාතෘ භුමියේ අවශ්‍යතාවයන් ඉටු කිරීම සඳහා වන භාරදූර වගකීම ඉටුකිරීමට කැපවූ අභිමානවත් ශ්‍රී ලාංකික පුතුන් විය යුතු බවත් පවසන ලදී. එමෙන්ම, මව්බිමට සේවය කිරීම සඳහා තම පුතුන් නාවික හමුදාවට භාරදුන් විසිර යන ආධුනික නාවිකයන්ගේ දෙමාපියන් සහ පවුල්වල සාමාජිකයින් වෙතද එහිදී රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න විසින් සිය ගෞරවය සහ ස්තූතිය පුද කර සිටීමට කටයුතු කෙරිණි.

තවද, මෙම විසිරයෑමේ පෙළපාලිය විසිර ගිය ආධුනික නාවිකයන් සහභාගී වූ සරඹ සංදර්ශනයකින් සහ නාවික හමුදා තුර්යවාදක කණ්ඩායමේ හා සංස්කෘතික කණ්ඩායමේ විචිත්‍රවත් සංදර්ශනයකින් වර්ණවත් වූ අතර, නාවික හමුදා මැරීන් බලඝණය විසින් ඉදිරිපත් කරන ලද ප්‍රදර්ශනාත්මක අංගයන්ගෙන්ද සමන්විත විය.

මෙම විසිරයෑමේ පෙළපාලිය සඳහා ගරුතර මහා සංඝරත්නය, නාවික හමුදා මූලස්ථානයේ සහ නැගෙනහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් මෙන්ම විසිර ගිය ආධුනික නාවිකයින්ගේ දෙමාපියන් පිරිසක්ද සහභාගී වී සිටියහ.