පී 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව ශ්‍රී ලංකාව බලා පැමිණෙන අතරවාරයේ සිංගප්පූරුවේ චැංගී (Changi) වරාය වෙත සේන්දු වෙයි

ඇමරිකා එක්සත් ජනපදයේ සියැටෙල් වරායේ සිට පසුගිය 2022 සැප්තැම්බර් මස 03 වන දින කොළඹ වරාය බලා ගමන් ආරම්භ කල පී 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව 2022 ඔක්තෝබර් මස 22 වන දින උදෑසන සිංගප්පූරුවේ චැංගී වරායට සේන්දු වූ අතර, එම අවස්ථාව සඳහා සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්, ශෂිකලා ප්‍රේමවර්ධන මහත්මිය සහභාගී වන ලදි.

පී 627 නෞකාව පිලිපීනයේ මැනිලා වරායෙන් සැපයුම් අවශ්‍යතා ලබාගැනීමෙන් අනතුරුව, 2022 ඔක්තෝබර් මස 16 වන දින ශ්‍රී ලංකාව බලා ගමන් ආරම්භ කර නාවික සැතපුම් 1393 ක් පමණ (කිලෝමීටර් 2580 ක් පමණ) වූ මුහුදු ගමනකින් පසු නැවත සැපයුම් හා සේවා අවශ්‍යතා සපයා ගැනීම සඳහා 2022 ඔක්තෝබර් මස 22 වන දින මෙලෙස සිංගප්පූරුවේ චැංගී වරායට සේන්දු විය.

තවද, පී 627 නෞකාව සිංගප්පූරුවේ චැංගී වරායට සේන්දු වන අවස්ථාව සඳහා සහභාගී වූ සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්, වශයෙන් කටයුතු කරනු ලබන ශෂිකලා ප්‍රේමවර්ධන මහත්මිය, පී 627 නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් ලංකා දිසානායක හමුවී අනෞන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව අදහස් හුවමාරු කරගැනීමටද එහිදී කටයුතු කෙරිණි.

කොළඹ වරාය බලා පී 627 නෞකාව පැමිණෙන දීර්ඝ මුහුදු ගමනේදී මේ වන විට දින 50 ක කාලයක් ශාන්තිකර සාගරය සහ දකුණු චීන මුහුද ඔස්සේ නාවික සැතපුම් 9093 ක් පමණ (කිලෝමීටර් 16840 ක් පමණ) දුරක් පැමිණ ඇත. තවද, නෞකාව, එළඹෙන 2022 නොවැම්බර් මස පළමු සතිය තුලදී කොළඹ වරායට සේන්දුවීමට නියමිතව ඇත.